April 11, 2024

මෙරට වෙළෙඳපළේ පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙන ආහාර වර්ගවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ආහාරයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සාමාජික මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක ‘දිවයින’ට අනාවරණය කර තිබේ.

ජනතාව දිනපතා ආහාරයට ගන්නා සහල්, තුනපහ, ලුණු, තෙල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහුතරයකට වෙළෙඳුන් විසින් රසායන ද්‍රව්‍ය එක්කර බාල කර අලෙවි කිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු පෙන්වාදෙයි.

වෙළෙඳපළේ අලෙවි කරන බටර් කේක් ඇතුළු කේක් වර්ග ගණනාවක බටර් තබා බිත්තරවත් අඩංගු වී නොමැති බව පෙන්වාදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක, පරීක්ෂණවලදි හෙළිවී ඇති ආකාරයට කේක් වර්ගවල බටර් හා බිත්තර රස දැනවීමට රසකාරක වර්ග එකතු කර තිබූ බවත් හෙළිකළේය.

“මෙම තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුතු අංශ අතර වහා පුළුල් සංවාදයක් ඇතිවිය යුතුයි. එසේ නොවුණොත් තවත් වසර 5-6 අතර කාලයකට පසු රටේ සිදුවන බෝනොවන රෝග මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි” යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.