April 10, 2024

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සමාව දෙන ලෙස කළ ඉල්ලීමට හේතු පැහැදිලි කිරීම සඳහා තමාට බලයක් නොමැති බව සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් පවසයි.

මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාව මත එම භික්‍ෂුවට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම වී තිබේ.

එම ආන්දෝලනාත්මක භික්ෂුවට සමාව දෙන ලෙස මේ මස මුල පාර්ලිමේන්තුවේදී ඇමැති පැස්කුවල් ඉල්ලා තිබිණි.

“භික්ෂුව කතා කරලා තිබුණේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියා ගැන මිසක් මුස්ලිම් මිනිස්සු ගැන නෙවෙයි. ඔහු මුස්ලිම් ප්‍රජාව ගැන කරන කතාවට අපි කැමති නැහැ.” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි.

එහෙත් උන්වහන්සේට සමාව දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ මන්දැයි මේ සතියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “රාජ්‍ය ඇමැතිවරයකු ලෙස තමන්ට මේ ගැන අදහස් දැක්වීමට බලයක් නැහැ” යනුවෙනි.

2019 මැයි මාසයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සමාව පිරිනමීමට් පෙර ද එම භික්ෂුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර හයක සිර දඬුවමක් මීට පෙර විඳිමින් සිටියේය.

ජනාධිපති සමාව සඳහා පැස්කුවල්ගේ ඉල්ලීම පැමිණියේ වැරදිකරුවන්ට සමාව දීමේ සම්ප්‍රදායක් පවතින සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙරය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා ප්‍රකාශ කර තිබුණ ද සමාව ලත් අය අතර මෙම භික්ෂුව සිටියේ නැත.