April 9, 2024

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ වියළි ගංජා තොගයක් සහ තුවක්කුවක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල සහායකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී තුවක්කු අටක් ඔවුන් විසින් සොරාගෙන පිටස්තර පුද්ගලයන්ට අලෙවිකර ඇති බව අනාවරණය වී තිබේ.

එක් තුවක්කුවක් රුපියල් විසිපන්දහස බැගින් විකුණා දමා ඇති අතර ඒවා මිලදීගත් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු පස්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ළඟ තිබි අලෙවිකරන ලද තුවක්කු තුනක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

උසාවියේ කාර්යාල කාර්ය සහායකයකු ගබඩාවේ යතුරට සමාන යතුරක් කපා අධිකරණය වසාදමා තිබෙන අවස්ථාවල දී එම යතුර උපයෝගී කරගෙන ගබඩාවේ දොරගුළු විවෘතකර නඩු භාණ්ඩ වශයෙන් තිබූ වියළි ගංජා සහ තුවක්කු පිටතට රැගෙන ගොස් විකුණා ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි. (ලංකාදීප)