April 8, 2024

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය අප්‍රේල් 24 දක්වා දීර්ඝකර තිබේ.

අද (8) පෙරවරුවේ කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාළ පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව මාර්තු 30 වැනිදා පැවැති විශේෂ පක්ෂ රැස්වීමේදී තීරණයකර තිබිණි.

ඒ අනුව දුමින්ද දිසානායකගේ ජාතික සංවිධායක ධුරයෙන් ද ලසන්ත අලගියවන්න භාණ්ඩාගාරික ධුරයෙන් ද මහින්ද අමරවීර ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයෙන් ද ඉවත් කෙරිණි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නව ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු, භාණ්ඩාගාරිකවරයකු සහ ජාතික සංවිධායකවරයකු පත්කළේ එම තිදෙනා ධුරවලින් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ජාතික සංවිධායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගනය ආසන සංවිධායක කේ.පී.ගුණවර්ධන, භාණ්ඩාගාරික ලෙස බස්නාහිර පළාත් හිටපු ඇමැති හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක පත්කර තිබිණි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශ ආන්දෝලනයට තුඩුදී තිබිණි.