April 8, 2024

වත්මන් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (08) කැඳවා තිබේ.

මෙම රැස්වීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා විසිනි.

අදාළ රැස්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු මහලේකම් දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා හැර සෙසු පක්ෂ සාමාජිකයන්ට ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කළ පැමිණිල්ලකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පසුගිය බ්‍රහස්පතින්දා (04) කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

කෙසේවෙතත් මෛත්‍රීපාල සිරිසේන ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරන බවටයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ තිබූ ‘වැදගත්’ ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බවට චෝදනා කරමින් එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල පසුගිය සිකුරාදා (05) මරදාන පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

මේ අනුව, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයට ඇතුළුවීම සියලුම පුද්ගලයන්ට තහනම් කර තිබේ.