April 7, 2024

මතභේදයට තුඩු දී ඇති, එක්සත් ජනපදයේ බැල්ටිමෝර් පාලමේ ගැටුණු, ඩාලි නෞකාව මගින් රැගෙනවිත් කොළඹ වරායට ගොඩබෑමට නියමිත භාණ්ඩ පිළිබඳ වැඩිදුර තොරතුරු මේ වන විට වෙළඳ නාවික ලේකම් කාර්යාලය සහ අනෙකුත් අදාළ නැව් සමාගම් විසින් රැස්කරමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

කොළඹ බලා එමින් සිටියදී අදාළ නෞකාව ඉකුත් දා අමෙරිකාවේ බැල්ටිමෝර්හි Francis Scott Key පාලමේ ගැටීමට ලක්විය.

‘The Sunday Morning’ කළ විමසීමකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) D.L.R. වීරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, එම භාණ්ඩ නෞකාවට අයත් බැවින් කිසිදු පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට බලයක් නොමැති බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා රෙගුලාසි උල්ලංඝණය වී ඇත්නම් පමණක් පියවර ගත හැකි බව ද ඔහු පැහැදිලි කර ඇත.

ලේකම් කාර්යාලය සහ නැව් සමාගම් තවමත් මේ සම්බන්ධයෙන් තොරතුරු රැස්කරමින් සිටින බව ද ඔහු පවසා තිබේ.

අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයට අනුව, මාර්තු 26 වන දින බැල්ටිමෝර් පාලම කඩාවැටීමට හේතු වූ Maersk සමාගම විසින් කුලියට ගත් සිංගප්පූරු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන Dali, ශ්‍රී ලංකාවට අන්තරායකර ද්‍රව්‍ය ටොන් 764 ක් ප්‍රවාහනය කරමින් සිටි බවට වාර්තා පළවිය.

මෙම අන්තරායකර ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් විඛාදන ද්‍රව්‍ය, ගිනි ගන්නා ද්‍රව්‍ය, විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය සහ ලිතියම් – අයන බැටරි ඇතුළත් 9 වන පන්තියේ අන්තරායකර ද්‍රව්‍ය වලින් සමන්විත බව ද සඳහන් වෙයි.

මේ අතර රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රයකින් ලැබුණු තොරතුරු අනුව MV Dali නෞකාවේ අන්තරායකර අපද්‍රව්‍ය ප්‍රවාහනය නොකරන බවත්, ඒ වෙනුවට නාවික කටයුතු සඳහා අනතුරුදායක ද්‍රව්‍ය එහි තිබූ බවත් අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ.

මෙම ද්‍රව්‍ය මෙම අවස්ථාවේ පරිසරයට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද පැවැසෙයි.