April 5, 2024

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සඳහන් කරයි.

අවුරුදු උත්සව පැවැත්වීමට අදාළ උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන බව ඇමැතිවරයා කියාසිටියේය.

අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ එහිදී සඳහන් කළාය.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන අතර, ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව එහිදී ප්‍රකාශ කර සිටියේය.