April 5, 2024

ලෝක ආර්ථික සංසදය විසින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් තරුණ ගෝලීය නායකයකු ලෙස පිළිගෙන තිබේ.

පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සඳහා තොණ්ඩමන් ඇමැතිවරයාගේ කාර්යභාරය ඉස්මතු කරමින් ලෝක ආර්ථික සංසදය ඊයේ (අප්‍රේල් 04) මෙම නිවේදනය සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ තොණ්ඩමන් ඇමැතිවරයා ශ්‍රී ලංකා ඉතිහාසයේ තරුණ ගෝලීය නායකයකු ලෙස තේරී පත් වූ ප්‍රථම ඇමැතිවරයා වන බැවින් මෙම පිළිගැනීම වැදගත් බවයි.

පසුගිය වසරේ බලයට පත් තොණ්ඩමන් ඇමැතිවරයා ඓතිහාසික වශයෙන් ආන්තික වූ ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජලය සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය දීම අරමුණු කරගත් මුලපිරීම් කිහිපයක් මෙහෙයවා තිබේ.

රාජ්‍ය සේවය සඳහා වූ ඔහුගේ කැපවීම, නායකත්වය සඳහා වූ ඔහුගේ නව්‍ය ප්‍රවේශය ජාතික මට්ටමින් සැළකිව යුතු බලපෑමක් කර ඇති අතර මෙම තේරීම හරහා ගෝලීය වේදිකාවේ පිළිගැනීමට ද ලක්ව ඇති බව අමාත්‍යංශය පවසයි.

තරුණ ගෝලීය නායක ප්‍රජාව යනු ගෝලීය අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් බෙදාහදා ගන්නා සුවිශේෂී තරුණ නායකයන් 1,000කට අධික සංඛ්‍යාවකින් යුත් අද්විතීය, බහු-පාර්ශවකරුවන්ගේ ප්‍රජාවකි.

Young Global Leaders වැඩසටහන මගින් අනාගතය හැඩගස්වන වයස අවුරුදු 40ට අඩු නායකයන් හඳුනා ගනී.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න්, අලි බබා නිර්මාතෘ සහ තාක්‍ෂණ ව්‍යවසායක ජැක් මා සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වැනි ප්‍රමුඛ චරිත ඊට ඇතුළත් වේ.

තමාට ලැබුණු පිළිගැනීම පිළිබඳ අදහස් දක්වමින් ඇමැති තොණ්ඩමන් ලෝක ආර්ථික සංසදයට ස්තුතිය පුදකර තිබිණි.