April 4, 2024

ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අප්‍රේල් 20 සිට මැයි 20 දක්වා මාසයක පොදු සමාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ යටතේ ඔවුන්ට ඔවුන්ගේ සේවාවලින් නිල වශයෙන් ඉවත්වීමට හැකිවන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, යම් මූල්‍යමය බැඳීමක් හෝ ගෙවිය යුතු මුදලක් ඇත්නම් එය පියවා ත්‍රිවිධ හමුදාව හැරගිය අයට හමුදා සේවයෙන් ඉවත්වීමට හැකියාව ඇත.

2024 අප්‍රේල් 02 වැනිදා වනවිට පෙර නිල නිවාඩු නොමැතිව සේවය හැරගොස් සිටින අය සඳහා පොදු සමාව අදාළ වන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

සේවය හැරගොස් දැනට විදේශගතව සිටින අයට පහත අවශ්‍යතාවලට අනුකූලව ඔවුන්ගේ රෙජිමේන්තුවලට වාර්තා නොකර සේවයෙන් ඉවත්වීම ලබාගත
හැකි බව ද ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන අයට පෙර නිල නිවාඩු නොමැති වීමට අමතරව ඔවුන්ට එරෙහිව ගෙනඇති විනය ක්‍රියාමාර්ග කිසිවක් නොතිබිය යුතුය.

ඔවුන් විදේශ ගතවීම නීත්‍යනුකූල ලියකියවිලිවලින් මිස ව්‍යාජ ලේඛනවලින් හෝ නීතිවිරෝධී ක්‍රමවලින් නොවන බව තහවුරු කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිෂ්කාශනයක් තිබිය යුතුය.

කෙසේවෙතත් රජයේ ආධාර මත විදේශ පාඨමාලා හෝ විදේශ ආයතනවලින් ත්‍රිවිධ හමුදාවට පිරිනමන පාඨමාලා හැදෑරීමෙන් පසු පෙර නිල නිවාඩු නොමැතිව ගොස් ආපසු මෙරටට පැමිණීමට අපොහොසත් වූවන්ට සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල හෝ වෙනත් ඕනෑම අයකුට මෙම පොදු සමා කාලය අදාළ නොවන බව අමාත්‍යාංශය පවසයි.