April 4, 2024

දිවයිනේ සෙසු ප්‍රදේශ හා සසඳන විට කොළඹ නගරයේ පාසල් යන දරුවන් වැඩි වශයෙන් රිය අනතුරුවලට මුහුණ පාන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව පැවසුවේ ‘පාසල් මාර්ග ආරක්ෂණ සමාජය’ නිල වශයෙන් එළිදැක්වීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී සංවිධානය කර තිබූ උත්සවයක් අමතමිනි.

රිය අනතුරු සම්බන්ධ මෙම ඛේදනීය තත්ත්වය වෙනස් කිරීමට කඩිනම් පියවර ගතයුතු බවත්, ඒ සඳහා මෙවැනි මාර්ග ආරක්ෂණ වැඩසටහන් විශාල පිටිවහලක් බවත් ඇමැතිවරයා පැවසීය.

නාගරික රථවාහන අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ වීම විශේෂත්වයකි.

කොළඹ කලාපය තුළ පාසල් 144ක් පවතින අතර ඉන් 21ක් ජාතික පාසල් වන අතර තවත් පාසල් 20ක් අන්තර්ජාතික සහ පෞද්ගලික පාසල් කාණ්ඩයට අයත් වේ.

ඉතිරි පාසල් තිබෙන්නේ බස්නාහිර පළාත් සභාව යටතේය.

“කොළඹ මහනගර සභා සීමාව තුළ දිනකට ළමුන් 196,000ක් සාමාන්‍යයෙන් පාසල් වෙත එනවා. එම සිසුන් පාසල්වලට පැමිණෙන්නේ සිසු සැරිය පාසල් සේවය, පාසල් වෑන්රථ, ත්‍රිරෝද රථ සහ ඔවුන්ගේම පවුල්වල පෞද්ගලික ප්‍රවාහන ක්‍රම වැනි විවිධ ක්‍රම භාවිත කරමින්,” ඔහු පැවසීය.

“අපේ රටේ කොතැනකවත් විනයක් නැහැ. ඒක කියන්න මම බය නැහැ. ඉතින් නීති හදන තැන විනය රකින්න බැරිනම් රටේ ළමයි විනය කරන්නේ කොහොමද. ඒ නිසා අපි පාසලෙන් විනය ප්‍රගුණ කිරීම ආරම්භ කළ යුතුයි. ජපානය වැනි රටවල පෙර පාසල් ශ්‍රේණිවල ඉඳන් විනය පුරුදු කරනවා. අපේ පෙර පාසල් ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස්. අපි නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ට කියවීමට, ලිවීමට සහ ගණන් කරන්න., එය ඔවුන්ගේ මොළයට බර වැඩියි ,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

මේ අතර, ළමුන් සම්බන්ධව රටේ වාර්තා වන අපයෝජන සිද්ධීන්වලින් බහුතරයකට මූලිකවම දායක වන සාධකය ලෙස ෆේස්බුක් ඉස්මතු වී ඇති බව ඔහු පැවසීය.

ආන්දෝලනාත්මක ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු බොහෝ ඇමැතිවරු ඊට එරෙහිව කෑ ගැසීමට පටන් ගත් නමුත් අමෙරිකාවේ පාර්ලිමේන්තුව තුළ ද ෆේස්බුක් දැඩි විවේචන ලක්වූ බවත් මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවා සමාව අයැද සිටි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.