March 25, 2024

ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට 2024 ජනවාරි 4 සිට මාර්තු 10 දක්වා කාලය තුළ ‘109’ ක්ෂණික ඇමතුම් අංකය හරහා කාන්තාවන් සහ ළමුන්ට එරෙහි අපයෝජන, ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් සම්බන්ධ පැමිණිලි 1,077ක් ලැබී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඉන් පැමිණිලි 477ක විමර්ශන අවසන් කර ඇති අතර පැමිණිලි 42කට අදාළව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව තවත් පැමිණිලි 8ක් සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර පැමිණිලි 550කට අදාළව පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ළමා හා කාන්තා හිංසනයට අදාළ පැමිණිලි භාර ගැනීම සඳහා 2024 ජනවාරි 4 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය තුළ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන විශේෂ ඒකකය ස්ථාපිත කරන ලදී.

ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහි අපරාධවලට අදාළ පැමිණිලි cwb.online@police.gov.lk යන විද්‍යුත් තැපෑලෙන් හෝ ක්ෂණික ඇමතුම් අංකය වන ‘109’ සහ 011 2444444. යන දුරකථන අංකයෙන් ඉදිරිපත් කිරීමට මෙම විශේෂ ඒකකය සාමාන්‍ය ජනතාවට ඉඩ ලබා දෙන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහි ලිංගික හෝ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර, ගෘහස්ථ හිංසනය, ළමා අනාරක්ෂිතභාවය, ළමා ශ්‍රමිකත්වය, කෲරත්වය සහ සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් මෙම ඒකකය විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

මේ අතර, පොලිස් ස්ථාන වෙත යෑමට නොහැකි දරුවන්ට ඉහත විද්‍යුත් තැපැල් ලිපිනය සහ ක්ෂණික ඇමතුම් අංකය හරහා රහසිගතව පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දී ඇත.