March 25, 2024

ගාසාහි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට ආධාර කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ‘ගාසා ළමා අරමුදල’ සඳහා ලබන සතියේ දී ශ්‍රී ලංකා රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන වෙත භාරදීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගාසා තීරයේ විපතට පත් දරුවන්ට ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා මෙම මුදල් යොදවනු ඇති බවයි.

සියලුම අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන ඉෆ්තාර් උත්සව අත්හැර මෙම අරමුදලට දායකවන ලෙසට උපදෙස් දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

රාමසාන් මාසය තුළ ‘ගාසාහි ළමා අරමුදල’ සඳහා පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් ද ඉල්ලා තිබිණි.

ඒ අනුව එම අරමුදල සඳහා රුපියල් මිලියන පහකට වැඩි මුදලක් ලැබී ඇත.

මෙම පරිත්‍යාග අතරට එල්.ආර්.පේජ් ලබාදුන් රුපියල් මිලියන තුනක් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් ලබාදුන් රුපියල් ලක්ෂ පහක පරිත්‍යාගයක් ඇතුළත් වේ.

පරිත්‍යාග 2024 අප්‍රේල් 11 වැනි දින වන විට ලංකා බැංකුවේ (7010), ටැප්‍රොබේන් ශාඛාවේ (747) 7040016 බැංකු ගිණුමට එවිය හැකිය.