March 24, 2024

පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා වන විට විට පැවති රුපියල් බිලියන 1.2ක් වනහිඟ සුරා බදු ගෙවන ලෙස මෙරට පැරණිතම මත්පැන් නිෂ්පාදකයකු වන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම වෙත සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි සඳහන් කළේ 2023 නොවැම්බර් 30 වන විට රුපියල් බිලියන 1.2ක් වූ හිඟ සුරාබදු ප්‍රමාණය මසකට වාරික දෙකක් ලෙස ගෙවීමෙන් පියවීමට දෙපාර්තමේන්තුව සහ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම එකඟතාවකට පැමිණි බවයි.

එහි දැනට ගෙවීමට ඇති සහ අනාගත බදු ගෙවීම පැහැර හැරීමට මත්පැන් සමාගමට කිසිදු සහනයක් ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් අනාවරණ කළේය.

“ඔවුන්ගේ වත්මන් බදු ගෙවීම පැහැර හැරිය නොහැකි බව අපි ඔවුන්ට දන්වා තිබෙනවා. ඒ අනුව ජනවාරි මාසයේ සිට ඔවුන් දැනට ගෙවන බදු ගෙවීම පැහැර හැර නැහැ. 2023 හිඟ බදු මුදල මාසයකට වාරික දෙකක් ගෙවීමට ඇතිකරගත් එකඟතාවට අනුව ගෙවනවා” සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

බැඳුම්කර මගඩියෙන් පසු මෙන්ඩිස් සහ සමාගම සිය කටයුතු නතර කර තිබූ කාලය සඳහා දැනට සුරාබදු සම්බන්ධ හඹා යෑමක් කර නැති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම මෙන් 2023 සඳහා ගෙවිය යුතු සුරාබදු බදු පැහැර හැර ඇති සෙසු ආයතන සමඟ ද සුරාබදු දෙපාර්තමේන්තුව ගිවිසුම්වලට එළඹී ඇති බවයි.

ජාතික විගණන කාර්යාලයේ 2022 වාර්තාවට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදන සමාගම්, රා නිෂ්පාදන සහ ස්කාගාරවල ප්‍රමාද ගාස්තු සහ හිඟ සුරාබදු ලෙස දළ වශයෙන් රු. බිලියන 5.51ක් අයවීමට නියමිත බවයි.

නිරීක්ෂණය වූ හිඟ බදු වැඩිවීම රු. මිලියන 964.21ක් වන අතර එය 2021 දෙසැම්බර් 31 වන විට හිඟ ආදායම්වලට සාපේක්ෂව 21.18% ක වැඩිවීමකි.

තවද ජාතික විගණන කාර්යාලයේ ප්‍රකාශ කළේ, එකතු කර ගත යුතුව තිබූ මුදලින් 2023 මැයි 15 වන දින වන විට රුපියල් මිලියන 497.34ක් හිඟ බදු සහ අධිභාර ලෙස එකතු කර තිබු බවයි.