March 24, 2024

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඇණ හිට ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

අප මේ සම්බන්ධයෙන් News 1st සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගෙන් කරන ලද විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ, මාස කිහිපයක සිට අදාළ එන්නත් හිඟයක් ගෝලීයව පවතින බවයි.

කෙසේවෙතත් ලබන අප්‍රේල් මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, වසර එකහමාරක කාලයක් සඳහා අවශ්‍ය එන්නත් එලෙස ගෙන්වන බවයි.