March 20, 2024

මෑත වසරවලදී මෙරට මත්පැන් පරිභෝජනය ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා 2024 වර්ෂය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 232ක බදු ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සැකසහිත බව සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානියා අනාවරණ කර තිබේ.

2022 වසරට සාපේක්ෂව රටේ මත්පැන් නිෂ්පාදනය පසුගිය වසරේ ලීටර් මිලියන 6.5කින් පහත වැටී ඇති අතර එය සැළකිව යුතු ප්‍රමාණයකි.

2022 දී ලීටර් මිලියන 26.5ක් වූ මධ්‍යසාර ස්ප්‍රීතු නිෂ්පාදනය 2023 දී ලීටර් මිලියන 20 දක්වා පහත වැටී ඇති බව දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස මෑතකදී පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුළ මත්පැන් බෝතල් මිලියන 29කින් (මිලි ලීටර් 750), බාගේ බෝතල් මිලියන 54කින් (මිලි ලීටර් 375) සහ කාලේ බෝතල් (මිලි ලීටර් 180) අලෙවිය මිලියන 115කින් අඩු වී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිසි බලධාරියා වන මුදල් අමාත්‍යංශය විසින් පසුගිය වසරේ දී මධ්‍යසාර පානවලින් අය කරන බදු ආදායමේ මූලික ඉලක්කය රුපියල් බිලියන 217ක් ලෙස නියම කර තිබූ අතර පසුව එය රුපියල් බිලියන 181ක් ලෙස සංශෝධනය කළ බව ද ඔහු පැවසීය.

“රුපියල් බිලියන 232 ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මේ වසර සඳහා මුදල් අමාත්‍යංශය විසින් අලුත් සංඛ්‍යාලේඛන ලබා දී තිබෙනවා, පරිභෝජනය ක්‍රමයෙන් අඩුවෙමින් තියෙන නිසා එම ඉලක්කය ප්‍රශ්නයක් වෙයි ,” යනුවෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවසීය.

සුරාබදු ප්‍රධානියා පැවසුවේ 2023 ජනවාරි මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේදී සමස්ත මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000කින් අඩුවී ඇති බවයි.

“මෙම ප්‍රවණතාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා අපි දැනටමත් මුදල් අමාත්‍යංශයට වාර්තා ඉදිරිපත් කර තිබෙනවා,”යැයි ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.