March 19, 2024

පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවට තම සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බලයක් නොමැති බවත් ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති පියවර වැරදි බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට බලතල ඇති බවත් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මහ බැංකුවට සිය සේවකයන්ගේ වැටුප් වැඩි කළ නොහැකි බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

ඕනෑම පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතු බැවින් නව මහ බැංකු පනතට අනුව තීරණ ගැනීමට මහ බැංකුවට ස්වාධීනත්වයක් ඇතැයි මහ බැංකුව කරන ප්‍රකාශය වැරදි බවද ඇමැතිවරයා කීය.

“නව මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දුන්නේ ඊට දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහායි. රටේ අවශ්‍යතා අනුව මහ බැංකුව ක්‍රියාත්මක වේ යැයි අපි අපේක්ෂා කළා. අවාසනාවන්ත ලෙස පළමු ක්‍රියාමාර්ගය මහ බැංකුව සිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ක්‍රියා කළා.” යනුවෙන් මහ බැංකු සේවක වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පැවති පිළිතුරු කතාවේදී සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු පැවසීය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පැවසුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දින කිහිපයක් පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවසුවේ, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහ බැංකු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නා බවය.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එනතෙක් රජය බලා නොසිටිය යුතු බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වැටුප් වැඩිවීම ඉවත් කර ගැනීමට රජය තීරණයක් ගත යුතු බව පැවසීය.