March 18, 2024

බුදුරජාණන් වහන්සේගේ ‘පටි ධාතුව’ තැන්පත් කර ඇති බවට සැළකෙන, ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්ථූපය වන අනුරාධපුර ජේතවනාරාමයේ හතරැස් කොටුවේ සිට පහළට ස්ථූප ගර්භය මැද්දට විහිදී යන පරිදි පැලුම් විවරයක් මතුවී ඇත.

මේ හිදැස් තුළින් වර්ෂා කාලයට ජලය ඇතුළුවීමත් සහ වියළි කාලයට ප්‍රසාරණය වීමත් හේතුවෙන් ජේතවනාරාම ස්ථූපයට මෙන් යම් අනතුරක් විය හැකි යැයි බැතිමත්හු පෙන්වා දෙති.

වර්තමානයේ ජේතවනාරාම ස්ථූපය ප්‍රතිසංස්කරණය ඇත්තේ පැරැණි ව්‍යුහය මත නැවත ගඩොල් තැන්පත් කිරීමෙනි.

සංරක්ෂණ කටයුතු සඳහා ඉහළට යා හැකි පරිදි ඉදිකර ඇති යකඩ බට සහිත ස්ථානවලට ගොස් යම් යම් පිරිස් සෙල්ෆි ඡායාරූප ගන්නා බවටද චෝදනාවක් ඇත.

මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතර වන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර ඇත.

එය උසින් අඩි 400ක් ලෙස දැක්වේ.

මෙම ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇත.

අවුරුදු සිය ගණනක් වල් බිහි වී තිබූ ස්ථූපය සංරක්ෂණය, කර 2009 වසරේදී වන්දනාමාන කටයුතු සඳහා ජනතා අයිතියට පත්කරන ලදී.

මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් නිරන්තර සොයාබැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු කරන බවයි.

මෙවැනි පිපිරිම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්යවරයා, වසර 2500 ක් පමණ පැරැණි ඉතිහාසයක මෙවැනි දේ සිදු විය හැකි බවද පෙන්වා දුන්නේය.(ලංකාදීප)