March 16, 2024

කැනඩාවේ ඔටාවා නුවර බැර්හැවන් හි නිවසක් තුළදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 06දෙනා වෙනුවෙන් පොදු අවමංල්‍යය උත්සවයක් හෙට පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් කැනඩාවේ බෞද්ධ සම්මේලනය පවසා ඇත්තේ, බහු ආගමික සේවාව එරට වේලාවෙන් හෙට පස්වරු 01ට ඔටාවා හි ගිබ්ෆෝර්ඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත බවයි.

ඔටාවා හි බැර්හැවන් හි නිවසක් තුළ ළමුන් සිව්දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 06 දෙනකු ඝාතනයට ලක්වුණේ මාර්තු 6 වැනිදායි.

මියගිය පිරිසෙන් පස්දෙනකු ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට මෑතකදී පැමිණ ඇති බව පොලිසිය හඳුනාගෙන ඇත.

සිද්ධියෙන් 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇගේ කුඩා දරුවන් හතරදෙනා ඝාතනයට ලක්ව තිබිණි.

එමෙන්ම 40 හැවිරිදි වියේ පසුවූ ගාමිණී ඒකනායක නමැති ශ්‍රී ලාංකිකයකු ද ඔවුන් සමග එම නිවසේදීම ඝාතනය කර තිබිණි.

සිද්ධියෙන් දිවි බේරාගත් ධනුෂ්ක වික්‍රමසිංහ බරපතල කැපුම් තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

ඔහු කායිකව සුවය ලබමින් සිටින බවත්, ඉකුත් සතියේ සිදුවූ සිදුවීම දරා ගැනීමට ඔහුට මානසික සුවය අවශ්‍ය වනු ඇති බවත්, පවුලේ සාමාජිකයින්ගේ වියෝව පිළිබඳ ඔහු ශෝකයට පත්ව සිටින බැවින් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවත් කැනඩාවේ බෞද්ධ සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අසීරු අවස්ථාවේ සහාය ලබාදුන් සැමට ධනුෂ්ක වික්‍රමසිංහ සිය ස්තූතිය පළ කරන බව ද එම නිවේදනයේ ස‍ඳහන් කර ඇත.

ඝාතන සිද්ධියේ සැකකරු වන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රී ලාංකික තරුණයා ශිෂ්‍යයකු වන අතර, ඔහු ඝාතනයට ලක්වූ පවුල සමඟ ජීවත් වූ පුද්ගලයෙකි.

ඔහුට එරෙහිව පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.

කෙසේවෙතත් සැකකරුට එරෙහිව චෝදනා කිසිවක් මේ වනතෙක් ඔප්පු වී නොමැති අතර අපරාධ ‍සම්බන්ධයෙන් අධිකරණය මෙතෙක් කිසිදු සාක්ෂියක් කැඳවා නොමැති බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් සැකකරු මාර්තු 28 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.