March 15, 2024

කැනඩාවේ ඔටාවා නුවර බැර්හැවන් හි නිවසකදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික මවගේ සහ ඇගේ දරුවන් සිව්දෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ මැදිහත්වීම මත එම කටයුතු සිදු කෙරෙන බව පැවසේ.

එමෙන්ම කැනඩාවේ බෞද්ධ මහා සම්මේලනයේ නාරද කොඩිතුවක්කු පවසා ඇත්තේ, ඔටාවා ඝාතන සිද්ධියේදී තුවාල ලබා රෝහල් ගත කර සිටින විපතට පත් පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහගේ පියා සහ සහෝදරයා ඔහුට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණ ඇති බවයි.

ඝාතනයට ලක්වූ පවුලේ තරුණ මවගේ සමීප ඥාතීන් පවසා ඇත්තේ, දේහයන් ලංකාවට රැගෙන ඒම තමන්ට තවත් වේදනාකාරී වනු ඇති බවයි.

මේ අතර අදාළ සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ෆෙබ්රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික තරුණයාට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ කැ‍ඳවා තිබිණි.