March 14, 2024

යුද හමුදා ලුතිනන්වරයකු හෙරොයින් මත්කුඩුද සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ, 4 වැනි ගැමුණු හේවා බළකායට අනුයුක්ත ලුතිනන්වරයෙකි.

බොරලැස්ගමුව පොලිසියේ බුද්ධි අංශ නිලධාරි පොලිස් කොස්තාපල් (73314) මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමට යෑමේ දී ඔහු පොලිස් නිලධාරීන් මගහැරීමට උත්සාහ දරා ඇත.

ඒ අවස්ථාවේ දී කළ පරීක්ෂාවේ දී ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවේ සඟවා තිබී මත්කුඩු මිලිග්‍රෑම් 60ක් සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු මීට පෙර අවස්ථා දෙකකදී ද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වී දැඩි අවවාද කර මුදාහැර ඇති පුද්ගලයකු බවට හඳුනා ගත්තේ යැයි පොලිසිය පවසයි.

තිස් දෙහැවිරිදි සැකකරු මැදවච්චිය මන්නාරම පාර පෙදෙසේ පදිංචිකරුවෙකි.

ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.(ලංකාදීප)