January 11, 2024

බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනීසිටින තැනැත්තා බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට යැයි පවසමින් ශරීරයට ගිනි තබාගන්නා ලෙස තම අනුගාමිකයන් වෙත ප්‍රකාශ කරන බවට බලංගොඩ කාශ්‍යප හිමියෝ චෝදනා කරති.

පසුගිය කාලසීමාවේදී මෙවැනි අනුගාමිකයන්ගේ දේශන වලට සහභාගී වූ පුද්ගලයන් විවිධ මාර්ග භාවිත කරමින් සියදිවි නසා ගැනීමට පෙළඹුණු බැවින් එවැනි තත්ත්වයක් යටතේ අවලෝකිතේශ්වර කෙරෙහි විස්වාසය තබන අන්ධ භක්තිකයන් විසින් සිරුරට ගිනි තබාගැනීමට පෙළඹුනහොත් මෙය අපරාධමය වරදක්වන බව කාශ්‍යප හිමියෝ පෙන්වාදෙති.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට ප්‍රථම මොහු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කළ නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගත් බව උන්වහන්සේ පවසති.

එමෙන්ම අදාළ පුද්ගලයා ඔහුගේම දියණිය අපයෝජනයට ලක්කළ පුද්ගලයකුවන බව පැවසූ උන්වහන්සේ, වැඩිදුරටත් සඳහන් කළේ, ඒ හේතුවෙන් බිරිඳ විසින් මොහු නිවසින් එළවා දැමීම මෙම පුද්ගලයා විසින් තමා අභිනිෂ්ක්‍රමණය කළ පුද්ගලයෙක් බවට හුවා දක්වමින් ඇති බවයි.

මෙහිදි උන්වහන්සේ මෙසේද පැවසූහ.

“අවලෝකිතේශ්වර කියන්නේ ඊජිප්තුවේ බල්ලො බලාගත්ත කෙනෙක්. ලංකාවටවත් එන්න සල්ලි නැතුව මිනිස්සුම එකතුවෙලා තමයි ලංකාවට ගෙන්න ගන්නේ. මෙහෙම කෙනෙක් පස්සේ තමයි මේ අන්ධ භක්තිකයො, මෙහෙණින් වහන්සේලා එහෙම වඳින්නේ.

මොහු ථෙරවාදී සම්ප්‍රදාය විවේචනය කරමින් මහායානික අදහස් ඉදිරිපත් කරමින් බුදු දහම විකෘති කරනවා. මේ බෝධිසත්වයෙක් නොවෙයි මානසික විකෘතියකින් පෙළෙන පුද්ගලයෙක්. ඒ හින්දා වහාම මොහු මානසික ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි.(අරුණ)