January 10, 2024

ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පසුගියදා සිදු කරන ලද ‘යුක්තිය’ මෙහෙයුමේදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මතු කරන ලද කරුණු එක්සත් ජනපදය විසින්ද සිහිපත් කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ වැදගත්කම අවධාරණය කරණ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී ජේ.චුන්ග්, නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් නීතියේ ආධිපත්‍යයේ මූලධර්මවලට සහ නිසි ක්‍රියාවලියට අනුකූල විය යුතු බව අවධාරණය කරයි.

“මෙම සමතුලිතතාවය ඇති කිරීම යුක්තිය සහ මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වේ” ඇය පවසයි.

මීට පෙර, මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කළ අතර, ‘යුක්තිය’ මෙහෙයුම හා සම්බන්ධ සෝදිසි මෙහෙයුම් වලදී කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද මෙම මෙහෙයුම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, පුළුල් අසාධාරණය පිළිබඳ වාර්තා සහ මෙහෙයුමේ මාතෘකාව වන ‘යුක්තිය’ අතර ඇති පරස්පරතාව අවධාරණය කර තිබේ.