January 8, 2024

ජනතාවට යහපත්, අහයපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත්, එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවැති මහනුවර දිස්තික්‍රක් සමුලුව අමතමින්ය.

“එදා ආපු රතු පෙළපාලි අද එකක්වත් ගොල්ෆේස් එන්නේ නැහැ. ඒ විරෝධතා ඇහෙන්නෙත් නැහැ. අපි සාම්ප්‍රදායිකව දැක්ක වම දකුණ දේශපාලනයට අද කිසිම ප්‍රවේශයක් ගන්නට ප්‍රවාහයක් නැහැ” යැයිද හෙතෙම කිවේය.

තුන්වැනි ලෝකෙන් ‘යම’ ලෝකයට ගෙන යන මෙම රැඩිකල් පක්ෂ, හොරු අල්ලලා ඔවුන් මිනිස්සුන්ට දෙන බවට සිදුකරන ප්‍රකාශ පුහු කතා බව පැවසූ දිලිත් ජයවීර, රට ඉදිරියට යෑමට නම් සියලුදෙනා එකතු වූ සභ්‍යත්ව මාවතකට යා යුතු බවද පැවසීය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“අවලාද මඩ ගැහිලි මැද අපි ඉදිරියට යන්නේ නැහැ. ඉදිරියට ගිහිල්ල තියෙන්නේ සුලු පිරිසක් පමණයි. ශ්‍රි ලංකාවේ තවත් රැකියාවක් හැටියට දේශපාලනයේ නිරතව ඉන්න, මේක වෘත්තියක් විදියට කරගෙන ඉන්න බොහෝදෙනා මේ දේශපාලනය ඇදගෙන ඇවිත් තියෙනවා මෙතනට. ඒ නිසා තමයි අද රටට මේ තත්වය උද්ගතවෙලා තියෙන්නේ. අපි සංකල්ප හතරක් ගැන කතා කරනවා. සභ්‍යත්වය, ව්‍යවසායකත්ව රාජ්‍ය, අභිප්‍රෙරණය හා උපාය මාර්ගික සැලස්ම. ඒ තමයි ඒ හතර. අපි කතා කරන්නේ මේ හතර ගැන විතරයි. අපි මේ හතරෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලු සාම්ප්‍රදායික දේශපාලනයන්ට දේශපාලන බලවේගවලට මම නැවත නැවත ආරාධනා කරනවා අපි ඔය මඩ වලට ඇදගෙන යන්න එපා කියල. මම සූදාමින් සිටිනවා අනුර කුමාර සහෝදරයා එක්ක සජීව සාකච්ඡාවකට යන්න. මම නැවත නැවත ඔහුට ආරාධනා කරනවා.

පවතින දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රධාන පක්ෂ වන එජාපය, සජබ, ජාතික ජනබල වේගය, පොහොට්ටුව එක තැනකට එකතු වෙලා. ඒකයි පාර්ලිමේන්තුවේ හැම පනතක්ම සම්මත වෙන්නේ. මිල වැඩිකිරීම්, බදු වැඩිකිරීම් ඕනෑම වෙලාවක කරන්න පුලුවන්. ඔක්කොම එකට ඉන්නේ.”