December 24, 2023

ඉරානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ බරපතළ කණස්සල්ල පළකරන එක්සත් ජාතීන්ගේ යෝජනාවකට එරෙහිව ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී එම යෝජනාවට එරෙහි වූ රටවල් ගණන 30ක් වේ.

ශ්‍රී ලංකාව සමඟ දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව සහ පාකිස්ථානය ‘ඉරාන ඉස්ලාමීය ජනරජයේ මානව හිමිකම් තත්ත්වය’ යන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 78ක් ද විපක්ෂව 30ක් ද ප්‍රකාශ කෙරුණු අතර,රටවල් 68ක් ඡන්දය දීමෙන් වැළැකී ද සිටියේය.

මෙම යෝජනාව මගින් ඉරානය විසින් ඉලක්කගත කාන්තාවන් සහ ගැහැණු ළමයින් මර්දනය කිරීම එක්සත් ජාතීන්ගේ සභාව හෙළාදුටු අතර, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව පොදු සහ පෞද්ගලික ජීවිතයේදී සිදුවන සියලුම ආකාරයේ පද්ධතිමය වෙනස්කම් කිරීම් සහ හිරිහැර කිරීම් මෙන්ම ඊට අදාළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉවත් කරන ලෙස ඉරානයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ යෝජනා පාඨයට අනුව, අසාධාරණ ලෙස රඳවාගෙන සිටින මානව හිමිකම් ආරක්ෂකයන් සහ විරෝධතාකරුවන් මෙන්ම එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට හෝ ආරක්ෂා කිරීමට උත්සාහ කරන මාධ්‍යවේදීන් සහ නීතිඥයන් නිදහස් කරන ලෙසත් විරෝධතාවලදී ගිනි අවි භාවිතය ඉවත් කරන ලෙසත් සභාව ඉරාන රජයෙන් ඉල්ලා සිටියේය.