December 21, 2023

පොලිසිය විසින් දීප ව්‍යාප්තව දියත් කළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,008ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්, ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 200ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක්, ඈෂ් ග්‍රෑම් 32ක්, හෂිෂ් ග්‍රෑම් 12ක්, මාවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 200ක්, කුෂ් ග්‍රෑම් 90ක්, තුල් ග්‍රෑම් 844ක්, ගංජා පැල 73,833ක්, මදන මෝදක කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 100ක් සහ මත්පෙති 17,054ක් මෙසේ සොයාගත් බව පොලිසිය පවසයි.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,008 දෙනා අතරින් සැකකරුවන් 185 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ විමර්ශනය සිදුකරනු ලබයි.

මීට අමතරව සැකකරුවන් 33 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුද්ගලයන් 209 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.