December 6, 2023

නිවාඩු ලබා ගමට පැමිණි නාවික හමුදා සෙබළියක සහ තවත් කාන්තාවක පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යටතේ පෙරේදා (04) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකාරිය කන්කසන්තුර ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන සෙබළියක බවත්, ඇය ලබන 13දා දක්වා නිවාඩු ලබා සිටින බවට හදුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

සැකකාරියන් කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචි 21 සහ 28 හැවිරිදි අය බව සඳහන් වේ.

ඔවුන් දෙදෙනා එදින රාත්‍රී පළාතොට දෙස සිට ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ ඇති අතර, කළුතර ඔරලෝසු කණුව ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා දැක යතුරුපැදිය නවතා පැදිකාරිය සහ පසුපැදිකාරිය මාරුවී ඇති බව පොලිසිය කීය.

එය දුටු රථවාහන අංශ නිලධාරියා පැමිණ බලපත්‍ර ඉල්ලා සිටීමේ දී, එය ප්‍රතික්ෂේප කර, වචන හුවමාරුවක් සිදුව රථවාහන අංශ නිලධාරියාට බැනවැදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පසුව ඔහු පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී කාන්තා නිලධාරිනියක ගෙන්වා සැකකාරියන් පොලිසියට රැගෙන ගොස් ඇත.

යතුරු පැදියේ කැබින් එක පරීක්ෂා කිරීමට ද ඔවුන් විරෝධය පා ඇති බවත්, පසූව එය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී බියර් ටින් දෙකක් සහ සෙමි 09 පමණ දිගැති නැමිය හැකි පිහියක් සොයාගෙන ඇති බවද සදහන් වේ.

සැකකාරියන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)