November 28, 2026

හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට අද (28) කන්දකින් ගලක් පෙරළී වැටීමෙන් එහි ගමන් ගත් මගියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරු 2.30ට පමණ ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ අසලදී මෙම අනතුර සිදුව ඇත.

පෙරළී ආ ගල බස් රථයේ ගැටී ඇතුළත අසුන්ගෙන සිටි මගියකුගේ ඇඟේ වැදීමෙන් ඔහු බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලැබූ මගියා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත්, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

මෙම ගල් පෙරළීම හේතුවෙන් බස් රථයට ද දැඩි අලාභහානි සිදුව ඇත.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස කන්දෙන් ගලක් පෙරළී එන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.