November 28, 2026

ත්‍රිකුණාමලය වරායේ ‘බූම් කෝව්’ ප්‍රදේශයේ සිදුවූ තෙල් කාන්දුවක් පාලනය කර පිරිසිදු කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (28) පෙරවරුවේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අද පෙරවරු 7.30ට පමණ මෙම තෙල් පැල්ලම නිරීක්ෂණය වී ඇති අතර, එය දිගින් මීටර් හතක් සහ පළලින් මීටර් දෙකක් පමණ වූ බව වාර්තා වේ.

සිද්ධිය සැලවූ වහාම අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා විශේෂ වෙරළාරක්ෂක කණ්ඩායමක් එම ස්ථානයට යොදවා ඇත.

තෙල් පැතිරීම වැළැක්වීමට සහ අවට සාගර පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීමට පරිසර හිතකාමී තෙල් උරාගන්නා ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් මෙම මෙහෙයුම සිදුකරන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාගර දූෂණ සිදුවීම්වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධතිය සුරැකීම අරමුණු කරගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ.