
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකය අද මුහුණ දෙන දැවැන්තම අභියෝගයක් වන්නේ දේශගුණික විපර්යාස සහ පාරිසරික අර්බුදයයි. ඊට විසඳුමක් ලෙස පරිසර හිතකාමී තිරසර සංවර්ධන මාවතකට පිවිසීම හෙවත් “හරිත සංක්‍රමණය” ශ්‍රී ලංකාවට ද අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව තිබේ. පුනර්ජනනීය බලශක්තිය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, තිරසර කෘෂිකර්මාන්තය සහ කසළ කළමනාකරණය එහි ප්‍රධාන පියවර වේ. සාමාන්‍යයෙන් හරිත සංක්‍රමණය තුළ කාන්තාවන්ගේ භූමිකාව පිළිබඳ කතා කිරීමේදී අවධානය යොමු වන්නේ පරිසරය රැකගැනීමට දායක වන සාමාන්‍ය කාන්තාවන් වෙතය. එහෙත්, හරිත ප්‍රතිපත්ති සම්පාදනය කරන, ඒ සඳහා මුදල් වෙන් කරන සහ ඒවා ක්‍රියාත්මක කරන රාජ්‍ය යාන්ත්‍රණය තුළ සේවය කරන කාන්තා නිලධාරිනියන්ට හිමි තැන පිළිබඳව ද විමසා බැලීම වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රමණය මෙහෙයවීමේ ප්‍රධාන වගකීම් පැවරී ඇති අමාත්‍යාංශ හය වන්නේ පරිසර, විදුලිබල හා බලශක්ති, මුදල්, වැවිලි කර්මාන්ත, පළාත් පාලන සහ කර්මාන්ත අමාත්යාංශයන්ය. පරිසර සංරක්ෂණය, බලශක්ති නිෂ්පාදනය, හරිත ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, තිරසර වැවිලි කර්මාන්තය, කසළ කළමනාකරණය සහ පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය වැනි කාර්යයන්හිදී මෙම අමාත්‍යාංශ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
ඒ අනුව, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රමණය මෙහෙයවන ඉහත අමාත්‍යාංශ හය තුළ සේවය කරන කාන්තා නිලධාරිනියන්ගේ සැබෑ තත්ත්වය විමසා බැලීමට උත්සාහ කරයි. හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී රාජ්‍ය පරිපාලනය තුළ කාන්තාවන්ට හිමි නියෝජනය, තීරණ ගැනීමේ බලය, අවස්ථා සහ අභියෝග පිළිබඳව සිදුකරන මෙම ගවේෂණය වඩාත් සාධාරණ හා සාර්ථක හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වැදගත් වේ.
පරිසර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අධ්‍යයනය කිරීමේදී පාරිසරික සංරක්ෂණය, දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය, පරිසර දූෂණය පාලනය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය සම්බන්ධ තොරතුරු රැසක් හඳුනාගත හැකිය.
කාන්තාවන්ගේ සහභාගීත්වය පිළිබඳව අමාත්‍යාංශය දක්වන අවධානය පෙන්වන වැදගත් අවස්ථාවක් ලෙස දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ වැඩමුළුවක් හඳුනාගත හැකිය.
2026 මැයි 30 සිට ජූනි 05 දක්වා පැවැත්වූ ජාතික පරිසර සතියට සමගාමීව, ජූනි 01 වැනිදා දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් අවම කිරීම පිළිබඳ විශේෂ දිනයක් නම් කර තිබිණි.
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සහ එම කටයුතුවලදී කාන්තාවන්ගේ හා පිරිමින්ගේ අවශ්‍යතා සමානව සැලකිල්ලට ගැනීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම එහි ප්‍රධාන අරමුණ විය. දේශගුණික ක්‍රියාමාර්ගවලදී ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සැලකිල්ලට ගැනීමේ වැදගත්කම පිළිබඳව ස්ත්‍රී-පුරුෂ සමාජභාවී විශේෂඥ ස්වර්ණා කොඩිකාර මහත්මිය දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව, දේශගුණික විපර්යාස සඳහා විසඳුම් සෙවීමේදී කාන්තාවන්ගේ අවශ්‍යතා ද සැලකිල්ලට ගත යුතු බව අමාත්‍යාංශය හඳුනාගෙන ඇති බව මෙම වැඩමුළුවෙන් පෙනී යයි.
පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරී තනතුරු පිළිබඳව සොයා බැලීමේදී කාන්තාවන්ට සැලකිය යුතු නියෝජනයක් හිමිව ඇති බව පෙනී යයි. අතිරේක ලේකම්වරුන් ලෙස ආර්.එච්.එම්.පී. අබේකෝන්, සමන්ති රණසිංහ සහ ඩබ්ලිව්.ඒ. කුමාරගම යන නිලධාරීන් කටයුතු කරති. මෙම තොරතුරු අනුව කාන්තාවන් සාමාන්‍ය රාජකාරිවලට පමණක් සීමා නොවී ප්‍රතිපත්ති සකස් කිරීම, සංවර්ධන කටයුතු, ව්‍යාපෘති කළමනාකරණය, තාක්ෂණික කටයුතු සහ මූල්‍ය පාලනය වැනි වගකීම් සහිත තනතුරුවල ද කටයුතු කරන බව හඳුනාගත හැකිය.
පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ඇතැම් ආයතනවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් විශේෂ වගකීමක් දරන නිලධාරියෙකු හෝ නිලධාරිනියක සිටීද යන්න පිළිබඳව ද සොයා බලා තිබේ. මෙවැනි නිලධාරියෙකු හෝ නිලධාරිනියක Gender Focal Point ලෙස හඳුන්වනු ලබන අතර, ආයතනයේ වැඩසටහන් හා ව්‍යාපෘති තුළ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ අවශ්‍යතා සමානව සැලකිල්ලට ගැනීම සඳහා ඔහු හෝ ඇය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියකගෙන් ලබාගත් තොරතුරු අනුව එම දෙපාර්තමේන්තුව තුළ මෙවැනි විශේෂ තනතුරක් හෝ නිලධාරිනියක නොමැති බව සඳහන් වී ඇත. එසේම වනජීවී හා වන සංරක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරයා ද එවැනි නිලධාරියෙකු හෝ තනතුරක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැත. අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවල කාන්තාවන් සැලකිය යුතු පිරිසක් සිටියද, ඇතැම් අනුබද්ධ ආයතන තුළ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් විශේෂ වගකීමක් දරන නිලධාරීන් පත්කර තිබීම පිළිබඳ ගැටලු පවතින බව මෙයින් පෙනී යයි. එවැනි නිලධාරීන් නොමැති වීම හෝ ඒ පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැති වීම නිසා කාන්තාවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීම, ඒවා ව්‍යාපෘතිවලට ඇතුළත් කිරීම සහ එම කටයුතු අධීක්ෂණය කිරීම අභියෝගයක් විය හැකිය.
මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රමණයට ඍජුවම දායක වන රාජ්‍ය ආයතනයක් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හඳුනාගත හැකිය.
අනාගත සංවර්ධන දිශානතිය තුළ බලශක්ති ක්ෂේත්රයේ සාම්ප්‍රදායික රැකියා අවස්ථාවලට අමතරව නව තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්‍ර සඳහා ද අවස්ථා නිර්මාණය කළ හැකි පසුබිමක් පවතී. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය, Battery Energy Storage Systems, Pumped Hydro Storage, සුළං බලශක්ති සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති වැනි ක්ෂේත්‍ර තුළ ඉංජිනේරු, විද්‍යාත්මක, තාක්ෂණික, පාරිසරික, ව්‍යාපෘති කළමනාකරණ, පර්යේෂණ, මූල්‍ය හා ප්‍රසම්පාදන ක්ෂේත්රවල වෘත්තීය දායකත්වයන් අවශ්‍ය වේ.
එමඟින් කාන්තාවන්ට නව වෘත්තීය මාර්ග හා තාක්ෂණික ක්ෂේත්රවලට ප්‍රවේශ වීම සඳහා විභව අවස්ථා නිර්මාණය විය හැකිය. කෙසේ වෙතත්, එම අවස්ථා කාන්තාවන්ට සමානව විවෘත වී තිබේද, නව බලශක්ති තාක්ෂණයන් පිළිබඳ පුහුණු හා කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා කාන්තාවන් සහභාගී වී තිබේද සහ ඔවුන්ගේ වෘත්තීය ප්‍රවේශය හා සංවර්ධනය සඳහා ආයතනික සහාය පවතින්නේද යන්න ප්‍රගති වාර්තා මඟින් තවදුරටත් විමසා බැලිය යුතුය. එම වාර්තාවලින් ව්‍යාපෘතිවල සංවර්ධන තත්ත්වය හඳුනාගත හැකි වුවද, කාන්තාවන්ගේ සංඛ්‍යාත්මක සහභාගීත්වය, රැකියා භූමිකාවන් හෝ ඔවුන් සඳහා විශේෂයෙන් ලබාදී ඇති අවස්ථා පිළිබඳ සෘජු තොරතුරු සම්පූර්ණයෙන් තහවුරු කරගත නොහැකිය.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිල Facebook පිටුව අධ්‍යයනය කිරීම මඟින් වැවිලි ක්ෂේත්රයේ කාන්තාවන්ගේ සහභාගීත්වය, ආර්ථික හා සමාජීය දායකත්වය, කාන්තා නායකත්වය සහ කාන්තාවන් සම්බන්ධ වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබඳ තොරතුරු හඳුනාගත හැකිය.
විශේෂයෙන්, 2023 වසරේ කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව රාජිකා වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් හෝ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර සඳහන් කරන කාන්තා සහභාගීත්වය සම්බන්ධ වැඩසටහන්, Facebook පිටුවේ පළ කර ඇති කාන්තාවන් සම්බන්ධ ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කර විමර්ශනය කිරීම වැදගත් වේ. එවැනි වැඩසටහන් මඟින් කාන්තාවන්ට ප්‍රජා මට්ටමේ වැඩසටහන්වලට සහභාගී වීම, ගැටලු ඉදිරිපත් කිරීම, දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්වලට දායක වීම සහ නායකත්ව භූමිකාවන්ට පිවිසීම සඳහා පවතින අවස්ථා විමර්ශනය කළ හැකිය.
ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රමණය තුළ තිරසර කාර්මික සංවර්ධනය, පරිසර හිතකාමී නිෂ්පාදන සහ තාක්ෂණික නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට වැදගත් කාර්යභාරයක් පැවරේ.
අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය, වාර්ෂික කාර්යසාධන වාර්තා, ප්‍රගති වාර්තා සහ ආයතනික තොරතුරු විශ්ලේෂණය කිරීමේදී පරිපාලන, කර්මාන්ත සංවර්ධන, ප්‍රතිපත්ති සංවර්ධන සහ ප්‍රමුඛතා ක්ෂේත්‍ර සංවර්ධන අංශ යටතේ එහි කාර්යයන් සංවිධානය වී ඇති බව හඳුනාගත හැකිය.
2024 වාර්ෂික කාර්යසාධන වාර්තාව මඟින් මෙම ආයතනික ව්‍යුහය පිළිබඳ තොරතුරු සපයන අතර, වත්මන් ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර ඇතුළු එස්.ඩබ්ලිව්. සී. ජයමිණි සහ නාලීනී බාලසුබ්රමනියම් වැනි නිලධාරිනියන් ඉහළ පරිපාලන හා සංවර්ධන තනතුරුවල කටයුතු කිරීම කාන්තා නියෝජනයට නිදසුන් වේ. තවද, 2026 ජූනි 30 දිනට අදාළ රාජ්‍ය මූල්‍ය වාර්තාව අනුව අමාත්‍යාංශයේ අනුමත කාර්ය මණ්ඩලය 2,197ක් වන අතර, පවතින කාර්ය මණ්ඩලය 1,903කි. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන ස්ත්‍රී-පුරුෂ වශයෙන් වෙන්කර නොදැක්වීම කාන්තා නියෝජනය නිශ්චිතව හඳුනාගැනීමට ඇති තොරතුරු හිඩැසකි.
එසේම, කාන්තා ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබලගැන්වීම සඳහා APCICT ආයතනය සමඟ එක්ව පුහුණුකරුවන් 50 දෙනෙකුට දින තුනක පුහුණුවක් ලබාදීමේ වැඩසටහන ද කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හා තාක්ෂණික කුසලතා වර්ධනයට අදාළ වැදගත් උදාහරණයකි.
ඒ අනුව, අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති, ව්‍යාපෘති හා වාර්තා තුළින් හරිත කාර්මික සංවර්ධනයට කාන්තාවන්ගේ දායකත්වය, ඔවුන්ට හිමි අවස්ථා සහ පවතින අභියෝග මෙන්ම ඒ පිළිබඳ ආයතනික තොරතුරු වාර්තාකරණයේ ස්වභාවය ද විශ්ලේෂණය කළ හැකිය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය, වාර්තා හා ප්‍රකාශන අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාවේ හරිත සංක්‍රමණයට අවශ්‍ය මූල්‍ය හා ප්‍රතිපත්තිමය පදනම සකස් කිරීමේදී එම අමාත්‍යාංශයට වැදගත් කාර්යභාරයක් පවතින බව හඳුනාගත හැකිය.
විශේෂයෙන්ම National Climate Finance Strategy of Sri Lanka (2025–2030), Public Investment Programme (PIP) සහ Public Financial Management Act, No. 44 of 2024 මඟින් දේශගුණික මූල්‍යකරණය, රාජ්‍ය ආයෝජන සැලසුම්කරණය හා සංවර්ධන ප්‍රමුඛතා සඳහා මූල්‍ය සම්පත් යොමු කිරීමේ ආයතනික රාමුව පැහැදිලි වේ.
එසේම Women Entrepreneurs Finance Code (WE Finance Code) මඟින් කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය ප්‍රවේශය හා ආර්ථික සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිමය අවධානය හඳුනාගත හැකිය.
අමාත්‍යාංශයේ නිලධාරී තොරතුරු අනුව අතිරේක අධ්යක්ෂ ජනරාල්, අධ්යක්ෂ, සහකාර ලේකම් හා සහකාර අධ්යක්ෂ වැනි තනතුරුවල කාන්තාවන් නියෝජනය වන අතර, එය මූල්‍ය හා ප්‍රතිපත්තිමය ක්‍රියාවලීන් තුළ කාන්තාවන්ට පවතින වෘත්තීය අවස්ථා පිළිබඳ සාක්ෂියකි.
එමෙන්ම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතනික තොරතුරු අනුව රාජ්‍ය පරිපාලන, මානව සම්පත් සංවර්ධන, අභ්‍යන්තර පාලන හා මූල්‍ය අංශවල ඉහළ තනතුරු දරන කාන්තා නිලධාරිනියන් සිටින බව හඳුනාගත හැකිය. එච්.ඒ.ඩී.සී. ජයසේකර, බුද්ධි එන්. ලියනගේ, හිරන්සා කළුතන්ත්රී සහ ජී.එච්. රූබසිංහ යන නිලධාරීන්ගේ තනතුරු ඒ සඳහා නිදසුන් වේ. තවද, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, Clean Sri Lanka වැඩසටහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ක්‍රියාකාරකම් රාජ්‍ය පරිපාලන ක්ෂේත්රය තුළ තිරසර හා පරිසර හිතකාමී ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමේ උදාහරණ ලෙස හඳුනාගත හැකිය.
ඒ අනුව, මෙම අමාත්‍යාංශවල ප්‍රතිපත්ති, ආයතනික ව්‍යුහ, නිලධාරී තොරතුරු හා ප්‍රකාශන මඟින් හරිත සංක්‍රමණයට අදාළ මූල්‍යකරණය, රාජ්‍ය ආයෝජන, පරිපාලන සහ මානව සම්පත් ක්‍රියාවලීන් තුළ කාන්තාවන්ට පවතින අවස්ථා හඳුනාගත හැකිය.
කෙසේ වෙතත්, හරිත ව්‍යාපෘති සඳහා කාන්තාවන්ට වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන, හරිත රැකියා හා පුහුණු අවස්ථා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි ඔවුන්ගේ
සහභාගීත්වය පිළිබඳ ස්ත්‍රී-පුරුෂ භාවය අනුව වෙන්කළ දත්ත සීමිත වීම තොරතුරු හිඩැසක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම සියලු අමාත්‍යාංශ තොරතුරු පැහැදිලිව අධ්‍යයනය කිරීමේදී අමාත්‍යාංශය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ වෙනම නිලධාරියෙක් හෝ හෝ තනතුරක් නොපවතින බව මේ හරහා සනාථ වේ. එවැනි තනතුරක් පවතිනවද යන්න විමසීමට උත්සහ කලද එයද අසාර්ථක වුයේ අදාල අමාත්‍යංශ නිලධාරීන් දුරකථන ඇමතුම් සමග සම්බන්ධ නොවීමයි.
රටක් හරිත කිරීම යනු ගස් සිටුවීම, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම හෝ පරිසර දූෂණය අවම කිරීම පමණක් නොවේ. එය සමාජයේ සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන, සියලු දෙනාගේ හඬට වටිනාකමක් ලැබෙන සංවර්ධන ක්‍රියාවලියක් විය යුතුය. එසේ නම්, හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ තීරණාත්මක ගමනේදී කාන්තාවන්ට හිමි වන්නේ වෙනසට සහාය දක්වන පිරිසකගේ භූමිකාව පමණක්ද? නැතහොත් එම වෙනස සැලසුම් කරන, මෙහෙයවන සහ තීරණ ගන්නා බලවේගයක් වීමටත් ඔවුන්ට සමාන අවස්ථාවක් ලැබෙනවාද? අවසානයේ අප ඇසිය යුතු ප්රශ්නය මෙයයි: හරිත ශ්‍රී ලංකාවක් ගොඩනඟන අපගේ සිහිනය තුළ කාන්තාවන්ටත් සමාන තැනක් හිමිද?
සෙව්මිණි අධීෂා
ceylonwire media




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart