November 28, 2026

නීතිවිරෝධී T-56 ගිනි අවියක් සහ පතොරම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත 75 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළකු පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (27) පින්වත්ත පොලිස් වසමේ ගාලු පාර අසල පිහිටි නිවසක විශේෂ වැටලීමක් සිදකර ඇත.

එම වැටලීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී නීතිවිරෝධී T-56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතොරම් 13ක්, පුහුණු පතොරම් 11ක්, යකඩ කඩුවක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ.

වාර්තා වන අන්දමට, සැකකරු පින්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘පින්වත්තේ පොඩි සුදුවා’ නොහොත් ‘හතදුර දමිත් දර්ශන සිල්වා’ නමැත්තාගේ සමීපතමයෙකි.

එමෙන්ම, මෑතකදී වෙඩි තබා ඝාතනය කෙරුණු ‘නදීක’ නමැති පුද්ගලයා සමඟ ද ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ පොලිස් භාරයට ගත් භාණ්ඩ වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පින්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.