November 28, 2026

දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ හ්වාසොං ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අසල පිහිටි කර්මාන්තශාලාවක සේවය නිමකර නැවත සිය නවාතැන්පොළ වෙත පයින් ගමන් කරමින් සිටි වයස අවුරුදු 30 ගණන්වල පසුවූ මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක ගැටීමෙනි.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක පටවා තිබූ ලී නිවසක වහලයක කොටසක් රථයෙන් පිටතට නෙරා තිබී ඇති අතර, එය මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ඇඟේ ගැටීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුවූ මාර්ගයේ පදික වේදිකාවක් නොතිබූ බවත්, ඒ හේතුවෙන් පදිකයන්ට මාර්ගය අයිනෙන් ගමන් කිරීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

තමන්ට ඉදිරි මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය කිරීමට නොහැකි වූ බව ලොරි රථයේ රියදුරු පොලිසියට ප්‍රකාශ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොසිටි බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දකුණු කොරියානු පොලිසිය අදාළ රියදුරාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන නීතිරීති උල්ලංඝනය වී ඇත්දැයි සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැත.