November 28, 2026

ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ තුන්වැනි වරට සිදුකළ හදවතට හදවතක් බද්ධ කිරීමේ (Heart Transplant) ශල්‍යකර්මය කොළඹ ජාතික රෝහලේදී පෙරේදා (26 දා) සාර්ථක අන්දමින් සිදුකෙරිණි.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම හෘද බද්ධ සැත්කම පෙරේදා සවස 5.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 පමණ වනතුරු සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

දාහතර හැවිරිදි පිරිමි දරුවෙක් මෙහිදී ශල්‍යකර්මයට භාජනය කෙරිණි. ඔහුට තිබී ඇත්තේ දුර්වල තත්ත්වයේ හෘදයකි. තව දින කීපයක් සිටියේ නම් ඔහු ජීවත්කරවීමට නොහැකි තත්ත්වයක් තිබිණි. හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයකුගේ හෘදයක් ඔහුට මෙසේ බද්ධ කෙරිණි.

පුරා පැය 07කට අධික කාලයක් තිස්සේ විශේෂ වෛද්‍ය මණ්ඩලයක් විසින් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේදී සිදුකළ මෙම සැත්කම සාර්ථක බවත් ඊට භාජනය වූ 14 හැවිරිදි දරුවා ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහලේ ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ සිදුකළ පළමුවැනි ඓතිහාසික හෘද බද්ධ කිරීමේ සැත්කම මහනුවර රෝහලේදී මීට වසර කීපයකට උඩදී සිදුකෙරුණු අතර එහිදී හෘද බද්ධ කිරීමට භාජනය වී තිබුණේ කාන්තාවක්ය.

හදිසි අනතුරකින් මොළය මියගිය තරුණයකුගේ හදවතක් ඇයට බද්ධ කළේය. එම ශල්‍යකර්මය ද විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදුකර තිබිණි. කොළඹ ජාතික රෝහලේදී සිදුකළ තුන්වැනි ශල්‍යකර්මය සඳහා හෘදය ගෙන තිබුණේ හදිසි අනතුරකින් මොළය අකර්මණ්‍ය වී සිටි 19 හැවිරිදි තරුණයකු ගෙනි. එම තරුණයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

තරුණයාගේ ඥාතීන් සිය පුත්‍රයාගේ හෘදය පරිත්‍යාග කිරීමට කැමැත්ත පළකර තිබූ අතර එය ලබාදීමට නියමිතව තිබුණේ කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවකු වෙතය.

මෙම ශල්‍යකර්මය සඳහා හෘදය ලබාගෙන ඉතාම කෙටි කාලයක් තුළදී එය අනෙක් රෝගියාට බද්ධ කළ යුතුය. එබැවින් ගම්පහ රෝහලේ සිට මෙම හෘදය කොළඹ ජාතික රෝහල වෙත ඉතාම කෙටි කාලයකින් රැගෙන ඒමට අවශ්‍ය විය.

ඒ සඳහා විශේෂ හෙලිකොප්ටර් යානයක් සූදානම් කර තිබූ අතර පෙරේදා සවස් කාලයේ අධික වර්ෂාවක් ගම්පහ ප්‍රදේශයට ඇදහැළුණු නිසා කාලගුණය අයහපත්වීමෙන් හෙලිකොප්ටරය ගුවන්ගත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

ඒ අවස්ථාවේ වෛද්‍ය මණ්ඩලය විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධ කරගෙන මෙම හෘද බද්ධ කිරීමට අවශ්‍ය හෘදය ගම්පහ රෝහලේ සිට කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට සහාය වන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. සේනාධීරගේ ද සහාය ඇතිව ගම්පහ සිට කොළඹ දක්වා ප්‍රධාන මාර්ගය කෙටි වේලාවකට වසා දමා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබාදෙමින් ගම්පහ රෝහලේ සිට හෘදය කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් රැගෙන යෑමට කටයුතු කර දී තිබිණි.

ඒ අනුව නියමිත කාලවේලාවේදී හෘදය කොළඹ ජාතික රෝහල වෙත ගෙනැවිත් එය 14 හැවිරිදි දරුවාට බද්ධ කිරීමට හැකි වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

(උපුටාගැනීම – දිවයින පුවත්පත)