November 27, 2026

ඉන්දියාවේ දරිද්‍රතාවයෙන් ඉහළ ප්‍රාන්තයක් ලෙස සැලකෙන බිහාර් ප්‍රාන්තයේ දේශපාලනඥයෙකු විසින් සංවිධානය කරන ලද මංගල උත්සවයකට ඇස්තමේන්තුගත අමුත්තන් 400,000ක් පමණ සහභාගී වී ඇති අතර, ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ සඳහා මිලියනයක පමණ පිරිසක් පැමිණ ඇති බවයි.

මිනීමැරුම් චෝදනා ඇතුළු අපරාධ රැසකට ගණනකට මුහුණ දී සිටින අවස්ථා හයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අනන්ත් සිං, නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ පැවති සිය දියණියගේ විවාහ මංගල උත්සවය සඳහා ගම්වාසීන්, දේශපාලන හිතවතුන් සහ ප්‍රභූවරුන්ට ආරාධනා කර තිබුණි. මේ සඳහා පවුම් මිලියන 6.5ක මුදලක් වැය වී ඇති බව වාර්තා වේ.

දින ගණනාවක් පුරා පැවැත්වෙන ඉන්දියාවේ සුප්‍රකට අතිශය සුඛෝපභෝගී විවාහ මංගල උත්සවවල ප්‍රමිතීන්ට පවා සාපේක්ෂව මෙම උත්සවයේ පරිමාණය අතිශය විශ්මයජනක විය.

මෙතෙක් වැඩිම පිරිසක් සහභාගී වූ විවාහ මංගල උත්සවය ලෙස ගිනස් ලෝක වාර්තාවට එක්ව ඇත්තේ 1995 වසරේ ඉන්දියාවේ පැවති අමුත්තන් 150,000ක් සහභාගී වූ මංගල උත්සවයකි. ඒ අනුව, පසුගිය බදාදා පැවති මෙම උත්සවය එම ලෝක වාර්තාව ද අභිබවා ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

අනන්ත් සිංගේ සමීපතමයෙකු වන මුන්නා සිං පැවසුවේ, අරක්කැමියන් සහ සූපවේදීන් 500 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පිළියෙළ කරන ලද සාම්ප්‍රදායික රසකැවිලි 500,000ක් පමණ සහ නිර්මාංශ භෝජන සංග්‍රහයක් අමුත්තන්ට පිරිනැමූ බවයි.

අනන්ත් සිංගේ උපන් ගම වන නඩවාන් හි පැවති මෙම උත්සවයට අතිවිශාල ජනකායක් පැමිණීම නිසා උත්සව භූමියට පිවිසෙන සියලුම මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර විය. දැඩි රථවාහන තදබදය මැද ඉදිරියට යාමට නොහැකි වූ එක් දේශපාලනඥයෙකු සිය මෝටර් රථය මග දමා කුඹුරු හරහා ට්‍රැක්ටරයක නැගී උත්සව භූමියට පැමිණි බව Times of India පුවත්පත වාර්තා කළේය.

ප්‍රභූ අමුත්තන් ගුවනින් රැගෙන ඒම සඳහා සංවිධායකයින් විසින් හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගන පහක් ද ඉදිකර තිබුණි.

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා පුවත් ඒජන්සිය විසින් නිකුත් කරන ලද ඡායාරූපවල දැක්වුණේ දහස් ගණනක් දෙනා උත්සව භූමිය දැකබලා ගැනීමට පොරකන ආකාරයත්, තවත් පිරිසක් ගස් උඩ සහ විදුලි කණු මත අනාරක්ෂිත ලෙස නැගී සිටින ආකාරයත්ය.

අශ්වයන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අශ්ව රේස් තරගය නැරඹීමට 100,000ක පමණ පිරිසක් පැමිණීම හේතුවෙන් එම තරඟය කල් දැමීමට සංවිධායකයින්ට සිදුවිය.

චීනයෙන් ආනයනය කරන ලද මල් යොදාගනිමින් කළ අලංකාර මල් සැරසිලි සහ ගිනිකෙළි සංදර්ශනයක් ද අමුත්තන්ගේ සිත් ඇදගත්තේය.

අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ඇතැම් අමුත්තන් පිඟන් වෙනුවට පානීය වීදුරු භාවිතා කරන ආකාරයත්, ආහාර පිසින භාජනවලින් සෘජුවම අතින් ආහාර බෙදාගෙන කාඩ්බෝඩ් පෙට්ටිවල දමාගෙන රැගෙන යන ආකාරයත්ය.