November 27, 2026

ලන්දේසි යටත් විජිත සමයේදී මහනුවර රාජධානියෙන් රැගෙන යන ලද, 18 වැනි සියවසට අයත් ‘මහ තුවක්කු’ ලෙස හැඳින්වෙන ඓතිහාසික ගිනි අවි දෙකක් යළි ශ්‍රී ලංකාවට භාර දීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබේ.

වසර 250 කට වඩා පැරණි මෙම ගිනි අවි දෙක දැනට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි ජාතික කෞතුකාගාරය වන රයික්ස් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මෙම තීරණය නෙදර්ලන්ත අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා අමාත්‍ය රියාන් ලෙට්ෂර්ට් විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝයර් විසින් නිවේදනය කරනු ලැබීය.

රයික්ස් කෞතුකාගාරයේ විශේෂඥයන් සහ ශ්‍රී ලාංකික විද්වතුන් එක්ව මෙම පුරාවස්තුවල මූලාරම්භය පිළිබඳව සිදු කළ ඒකාබද්ධ පර්යේෂණයකින් අනතුරුව මෙම ගිනි අවි ශ්‍රී ලංකාවට අයත් ඒවා බව තහවුරු වීමත් සමඟ මෙලෙස ඒවා යළි භාර දීමට පියවර ගෙන තිබේ.

පර්යේෂකයන් විසින් මෙම අවි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ‘මහ තුවක්කු’ ලෙස හඳුනාගෙන ඇති අතර, 1765 වසරේදී ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම සහ මහනුවර රාජධානිය අතර පැවති යුද්ධයේදී මේවා අත්පත් කරගෙන නෙදර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට ඓතිහාසික සාක්ෂි සොයාගෙන ඇත. එක් ගිනි අවියක මහනුවර රජුට සම්බන්ධ අක්ෂර සටහන් ද දක්නට ලැබෙන අතර, එමගින් මෙම අවි ශ්‍රී ලංකාවට අයත් බවට ඇති ඓතිහාසික සබඳතාව තවදුරටත් තහවුරු වේ.

මෙම ගිනි අවි දෙක, 2023 වසරේදී නෙදර්ලන්තය විසින් මීට පෙර ශ්‍රී ලංකාවට යළි භාර දුන් ඓතිහාසික ගිනි අවි දෙකට බොහෝ සෙයින් සමානකමක් දක්වයි.

මෙම සංස්කෘතික උරුමයන් දෙක නිල වශයෙන් යළි ශ්‍රී ලංකාවට භාර දීම සඳහා වන කටයුතු ඉදිරියේදී සූදානම් කෙරෙනු ඇත.