November 26, 2026

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හෝ ප්‍රාදේශීය ප්‍රජාවට හෙළි නොකළ රහසිගත ගිවිසුමක් යටතේ, බලහත්කාරයෙන් අප්‍රිකාවේ එස්වාටිනි (Eswatini) රාජ්‍යය වෙත පිටුවහල් කර පදිංචි කරවූ 35 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයෙකු එරටට ගොස් මාස කිහිපයකට පසු සියදිවි නසාගෙන ඇති බව බීබීසී (BBC) පුවත් සේවය අනාවරණය කරයි.

දැඩි මානසික රෝගී තත්ත්වයකින් සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවකින් පෙළුණු කිෂාන්ත් පෙරමලයා නමැති මෙම පුද්ගලයා 2021 වසරේදී ඉන්දියාවේ සිට කැනඩාව බලා යාත්‍රාකරමින් සිටියදී බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් බේරාගෙන දියාගෝ ගාර්ෂියා දූපතේ රඳවා තබා ගෙන තිබිණි. යොවුන් වියේදී ලැබූ කම්පනයන් හේතුවෙන් පශ්චාත් කම්පන ආතති ආබාධයෙන් (PTSD) පෙළුණු ඔහුට සරණාගත රැකවරණය හිමිවුවද, එම දූපතේ රඳවා සිටි කාලය තුළ ඔහුගේ මානසික සෞඛ්‍යය පිරිහී ගොස් ඇත.

එම කාලය තුළ සිදුකළ පහරදීම්, ගිනිතැබීම් සහ ලිංගික අතවර චෝදනා හතරකට වරදකරු වීම හේතුවෙන්, 2024 වසරේදී සෙසු ශ්‍රී ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර ලැබුණද ඔහුට එම අවස්ථාව අහිමි විය. අනතුරුව මේ වසරේ මුලදී මාලදිවයින හරහා ඔහුව කිසිදු සම්බන්ධතාවක් නොමැති එස්වාටිනි රාජ්‍යය වෙත යවා ඇත.

බීබීසී පුවත් සේවය ලබාගත් දෙරට අතර කෙටුම්පත් ගිවිසුමට අනුව, ඔහුව එහි ස්ථිරව පදිංචි කරවීමටත්, වසර තුනක් දක්වා ඔහුගේ නවාතැන් සහ සෞඛ්‍ය වියදම් දැරීමටත් බ්‍රිතාන්‍යය එකඟ වී තිබේ. එස්වාටිනි හි හුදකලා නිවසක තනිව රඳවා සිටි ඔහුගේ මානසික තත්ත්වය දැඩි ලෙස පිරිහීමත් සමඟ පසුගිය සැප්තැම්බර් 13 වනදා ඔහු සියදිවි නසාගෙන ඇත.

බ්‍රිතාන්‍ය රජය පවසන්නේ තම මූලික වගකීම බ්‍රිතාන්‍ය මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි. කෙසේවෙතත්, අප්‍රිකාව ලෝකයේ නොවිසඳුණු ගැටලු බැහැරකරන කසළ ගොඩක් බවට පත් කර ඇතැයි එස්වාටිනි සිවිල් සංවිධාන බ්‍රිතාන්‍යයට දැඩි ලෙස චෝදනා කරයි.