November 25, 2026

චීන – පාකිස්තාන අභ්‍යවකාශ සහයෝගීතාවයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාකිස්තාන ගුවන් හමුදා නියමු මුහම්මද් සීෂාන් අලි සහ චීන ගගනගාමීන් දෙදෙනකු රැගත් චීනයේ ‘ෂෙන්ෂෝ-24’ අභ්‍යවකාශ යානය අද සාර්ථකව පෘථිවි කක්ෂයට ළඟා විය.

වයඹදිග චීනයේ පිහිටි ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බීජිං වේලාවෙන් පෙරවරු 8.18ට Long March-2F රොකට්ටුවක් ආධාරයෙන් මෙම යානය ගුවන්ගත කෙරිණි.

මෙම තිදෙනකුගෙන් යුත් කණ්ඩායමට මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන චීන ගගනගාමී ටෑන්ග් හොංබෝ, චීන පියාසර ඉංජිනේරු වූ යී සහ බර පැටවුම් විශේෂඥයකු ලෙස එක්වන පාකිස්තාන ගගනගාමී අලි ඇතුළත් වෙති.

මෙම සාර්ථක දියත් කිරීමත් සමඟ පෘථිවි කක්ෂයට ගමන් කළ පළමු පාකිස්තාන ජාතිකයා මෙන්ම, චීනයේ ‘ටියැන්ගොං’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යන මිනිසුන් සහිත මෙහෙයුමකට එක් වූ පළමු විදේශීය ගගනගාමියා බවට ද අලි පත්වේ.

ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවෙන් වෙන් වූ යානය සැලසුම් කළ කක්ෂයට ඇතුළු වූ අතර, ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ‘ටියැන්ගොං’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් තිබෙන යානය එයට සම්බන්ධ වීමෙන් පසු, චීන කක්ෂීය මධ්‍යස්ථානයට ඇතුළු වන පළමු විදේශිකයා බවට අලි පත්වනු ඇත. එහි රැඳී සිටින කාලය තුළ ඔහු චීන කණ්ඩායම සමඟ එක්ව ජෛව තාක්ෂණය සහ ප්‍රභාසංස්ලේශක ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධ පර්යේෂණ ඇතුළු විද්‍යාත්මක පරීක්ෂණ රැසකට සහභාගී වීමට නියමිතය. සතියක පමණ කාලයක් පැවැත්වෙන මෙම මෙහෙයුමෙන් අනතුරුව, ඔහු Shenzhou-23 අභ්‍යවකාශ යානයෙන් නැවත පෘථිවියට පැමිණීමට නියමිතය.

2025 පෙබරවාරි මාසයේදී චීනය සහ පාකිස්තානය අතර අත්සන් තැබුණු අභ්‍යවකාශ සහයෝගීතා ගිවිසුමකට අනුව, චීනයේ පුහුණුව ලැබීම සඳහා පාකිස්තාන ගගනගාමී අපේක්ෂකයින් තෝරා ගැනීමෙන් පසු මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.