November 24, 2026

රුපියල් බිලියන 6,180ක මුළු ආදායමෙන් රුපියල් බිලියන 2,643ක් පොලී ගෙවීමට වැය වන බවත්, එනම් රැස් කරන සෑම රුපියල් 100කින්ම රුපියල් 43ක් පොලී ගෙවීමට යන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පාර්ලිමේන්තුවේදී 2027 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ප්‍රාග්ධන ණය ආපසු ගෙවීමද සමඟ සලකා බලන විට සෑම රුපියල් 100ක ආදායමකින්ම රුපියල් 77ක් පොලී සහ ණය වාරික ගෙවීමට වැය වන බවයි.

ඉතිරි වන්නේ රුපියල් 23ක් පමණක් බැවින් රටේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට තවත් රුපියල් 39ක ණයක් ගැනීමට සිදුව ඇති බවත්, දියුණුවක් තිබුණද තවමත් 11%ක පොලියට ණය ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආර්ථිකය ගැන කතා කිරීමේදී පක්ෂ පාට අමතක කළ යුතු බව පවසන ඔහු, වගකිවයුතු විපක්ෂයක් ලෙස එදා නොලැබුණු සහයෝගය වුවද ශක්තිමත් ආර්ථිකයක් සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රජයට ලබා දෙන බව සඳහන් කරයි.