November 25, 2026

දෙරට අතර ඊයේ (නොවැම්බර් 24) අත්සන් තැබුණු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම සහ පොලිස් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා සහාය වීමට චීනය සූදානම් වේ.

මෙම ගිවිසුමට ඊයේ පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න විසින් අත්සන් තබන ලදී.

නවීන තාක්‍ෂණය සූක්ෂම ලෙස භාවිත කරමින් සිදුකරන නැගී එන අපරාධ ක්‍රමවේදයන් අවබෝධ කර ගැනීමට සහ එවැනි අපරාධවලට එරෙහිව වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම මෙම ආධාර මගින් අපේක්ෂා කෙරේ.

මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන නිලධාරීහු ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.