November 24, 2026

නුවරඑළිය, අඹේවෙල පට්ටිපොළ රක්ෂිතය තුළ නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් හයදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

රක්ෂිතය තුළ අනවසර කැණීම් සිදු කරමින් පරිසර හානි සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව, නුවරඑළිය කලාපයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පැල්මඩුල්ල සහ ඉංගිරිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන්, මීපිලිමාන ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගනිමින් දැඩි ආරක්ෂාවක් යටතේ සංවිධානාත්මකව මෙම මැණික් ගැරීමේ කටයුත්ත පවත්වාගෙන ගොස් ඇති බවයි.

මෙම මෙහෙයුම ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් මෙහෙයවා ඇති බවට හැඟවෙන තොරතුරු ද විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන තිබේ.

සැකකරුවන් අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.