November 23, 2026

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ අරමුදල් වැඩසටහන යටතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ බ්ලැක්පූල් – අඹේවෙල – පට්ටිපොළ – හෝර්ටන්තැන්න (B512) මාර්ගයේ කොටස් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2,143.5කි.

මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ගයේ කිලෝමීටර් 5+200 සිට 12+000 දක්වා, 12+500 සිට 18+000 දක්වා සහ 19+000 සිට 23+000 දක්වා වූ කොටස් ඇතුළු තවත් ස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීමට නියමිතය.

මෙහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ඇසෙට් ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙත පිරිනමා ඇති අතර, මාස 18ක කොන්ත්‍රාත් කාලසීමාවක් තුළ එනම් 2028 මාර්තු 9 වැනි දින වන විට එහි වැඩ කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසීන්ගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය පහසු කිරීමටත්, හෝර්ටන්තැන්න ආශ්‍රිත සංචාරක කටයුතු සඳහා සහාය වීමටත් අපේක්ෂා කෙරේ.