November 21, 2026

ආයෝජකයන් 2,000කගෙන් පමණ රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් එක්රැස් කර සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සමාගම්වල අධ්‍යක්ෂවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ඊයේ (20) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ලාභාංශ ගෙවන බවට පොරොන්දු වෙමින් මෙම සමාගම් විසින් ආයෝජකයන්ගෙන් මුදල් එක්රැස් කර ඇති නමුත්, එම පොරොන්දු ඉටුකිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

මෙම වංචාවට රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් සම්බන්ධ බවත්, ආයෝජකයන් 2,000ක් පමණ ඉන් පීඩාවට පත්ව ඇති බවට විශ්වාස කරන බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අදාළ සමාගම් දෙකට එරෙහිව මේ වන විට පැමිණිලි 80ක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම සමාගම්වලට සම්බන්ධ අධ්‍යක්ෂවරුන් තිදෙනාගෙන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.