November 21, 2026

2011 වසරේදී මුලතිව්හි තම නිවසේ නවාතැන් ගෙන සිටි 17 හැවිරිදි යුද්ධයෙන් අවතැන් වූ පාසල් සිසුවියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ හින්දු කෝවිලක පූජකවරයකුගේ (පූසාරිවරයකුගේ) අභියාචනය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, ඊයේ (19) ඔහුගේ වරදකරුභාවය තහවුරු කළේය.

වරදකරුභාවය තහවුරු කරන අතරතුර, ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුගේ සිරදඬුවම වසර 17 සිට වසර 13ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් දක්වා අඩුකළේය.

වවුනියාව මහාධිකරණය මගින් තමන්ව වරදකරු කිරීමට එරෙහිව නිත්‍යානන්දන් මෝහන් රාජ් විසින් ගොනුකරන ලද අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, විනිසුරු අමල් රණරාජාගේ එකඟත්වය ඇතිව විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

නඩු තීන්දුවට අනුව, අවතැන් කඳවුරක ජීවත් වූ 17 හැවිරිදි අවතැන් වූ තැනැත්තියක වන වින්දිත දැරිය, අ.පො.ස. උසස් පෙළ පන්තිවලට සහභාගී වීම සඳහා 2011 අගෝස්තු මාසයේදී විත්තිකරුගේ නිවසේ පදිංචියට ගොස් ඇත.

2011 නොවැම්බර් 11 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරු එම යොවුන් දැරිය සමඟ බලහත්කාරයෙන් ලිංගිකව එක් වී තිබේ. පසුදින දෙවැනි වරටත් ඇයට අතවර කිරීමට උත්සාහ කිරීමෙන් පසු, මේ බව කිසිවකුට හෝ පැවසුවහොත් ඇයගේ ජීවිතය අනතුරේ වැටෙනු ඇතැයි පවසමින් විත්තිකරු ඇයට තර්ජනය කර ඇත.

මෙම අපරාධය හෙළි වී ඇත්තේ මාස හයකට පසු කඳවුරේ සෞඛ්‍ය සේවකයන් ඇය ගැබ්ගෙන ඇති බව නිරීක්ෂණය කිරීමත් සමඟය.

අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් ඇය මාස හයක ගැබිනියක් බව තහවුරු වීමත් සමඟ, මේ පිළිබඳව පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදු කළ DNA පරීක්ෂණයකින් දරුවාගේ ජීව විද්‍යාත්මක පියා විත්තිකරු බව තහවුරු විය. ගර්භණී සමයේදී වින්දිත දැරිය කන්‍යාරාමයක රැකවරණය යටතේ සිට ඇති අතර, දරුවා උපත ලැබීමෙන් පසු දරුකමට හදා ගැනීම සඳහා භාර දී ඇත.

දූෂණය කිරීමට තැත් කිරීමක් පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් මහාධිකරණය විත්තිකරු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ නමුත්, ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු කරමින් ඔහුට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 5,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් 300,000ක වන්දියක් ගෙවන ලෙස නියම කළේය.

“විත්තිකරු, පූසාරිවරයකු ලෙස, ඇයගේ කැමැත්ත යටපත් කිරීමට සිය තනතුර සහ බලය භාවිතා කර ඇත,” යනුවෙන් විනිසුරු ප්‍රේමචන්ද්‍ර තීන්දුව ප්‍රකාශ කළ අතර, වින්දිත දැරිය විශ්වාසනීය සාක්ෂිකාරියක් බවට වවුනියාව මහාධිකරණය එළඹි නිගමනයේ කිසිදු වරදක් නොමැති බව ද පෙන්වාදුන්නේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 364(2) වගන්තිය යටතේ වයස අවුරුදු 18ට අඩු දැරියක දූෂණය කිරීම සඳහා අවම වශයෙන් වසර 10ක අනිවාර්ය සිරදඬුවමක් සහ වසර 20ක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකි බව සඳහන් කරමින් අධිකරණය වරදකරුභාවය තහවුරු කළද, අභියාචකයා පළමු වරට වරදක් කළ අයකු වීම සහ දරුවන් පස් දෙනකුගේ පියකු වීම විනිසුරු මඩුල්ල සැලකිල්ලට ගත්තේය.

ඒ අනුව, ඔහු වරදකරු වූ දින සිට ක්‍රියාත්මක වන පරිදි සිරදඬුවම වසර 17 සිට වසර 13ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් දක්වා අඩු කළ අධිකරණය, රුපියල් 5,000ක දඩය, වින්දිත දැරියට රුපියල් 300,000ක වන්දි නියෝගය සහ ඒවා නොගෙවන්නේ නම් නියම වන අතිරේක සිරදඬුවම් එලෙසම ක්‍රියාත්මක වීමට නියෝග කළේය.