November 18, 2026

එයාර්බස් මූල්‍ය වංචාවට සම්බන්ධව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනුකර තිබූ නඩුවට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයේ කටයුතු අදින් අවසන් වන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් පසන් අමරසේන නිවේදනය කළේය.

මෙම නඩුවේ මුල් නඩු ගොනුව සහ ඊට අදාළ සියලු භාණ්ඩ ප්‍රදර්ශක මීට පෙර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යවා ඇති බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නේය.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව නාමල් රාජපක්ෂ මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින බවත්, පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් නිලධාරීහු සඳහන් කළහ.

එමෙන්ම, මේ වන විට විදෙස්ගතව සිටින සැකකරුවන් වන ප්‍රියංකා නියෝමලි සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

ඒ අනුව, මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති මෙම නඩුව විධිමත් ලෙස අවසන් කරන ලෙස කළ ඉල්ලීම පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා නඩු කටයුතු අවසන් කළ අතර, නාමල් රාජපක්ෂ සහ අනෙකුත් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හෙට දින අධිචෝදනා භාරදීමට නියමිතය.