November 18, 2026

මෙරට සිනමා කර්මාන්තයට බලපා තිබූ දිගුකාලීන එකතු කළ අගය මත බදු (VAT) ගැටලුව සඳහා 2027 ජාතික අයවැය යෝජනා මගින් විසඳුම් ලබා දී ඇති බවත්, ඒ හරහා බදු සම්බන්ධ සංකීර්ණතා හේතුවෙන් මෙතෙක් රඳවාගෙන තිබූ ප්‍රවේශපත්‍ර ආදායම් කොටස් නිදහස් කිරීමට මග පෑදී ඇති බවත් ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.

2024 වසරේදී සිනමා ක්ෂේත්‍රය සඳහා වැට් බද්ද හඳුන්වා දීමත් සමඟ, විශේෂයෙන්ම වැට් බදු ලියාපදිංචි සීමාවන්, බදු අය කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බදු මුදල් ගෙවීම සම්බන්ධයෙන් විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වූ බව ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කරයි.

2027 අයවැයෙන් යෝජනා කර ඇති නව සංශෝධිත ක්‍රමවේදය යටතේ, ප්‍රේක්ෂකයින් විසින් ප්‍රවේශපත්‍රයක් සඳහා ගෙවනු ලබන මුළු දළ මිල මත තවදුරටත් වැට් බද්ද ගණනය නොකෙරේ. ඒ වෙනුවට, චිත්‍රපට නිෂ්පාදකයින්, සිනමා ශාලා හිමියන්, චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල සහ ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු සෑම පාර්ශ්වකරුවෙකුම තමන්ට හිමිවන ප්‍රවේශපත්‍ර ආදායම් කොටස මත පදනම්ව වැට් බද්දට යටත් වනු ඇත.

මෙම නව ක්‍රමවේදය මගින් සෑම පාර්ශ්වකරුවෙකුටම ප්‍රවේශපත්‍ර අලෙවියෙන් තමන්ට වෙන් වූ ප්‍රතිශතයෙන් ලැබෙන ආදායමට අනුව වෙන වෙනම වැට් බදු සඳහා ලියාපදිංචි වීමටත්, අදාළ බදු මුදල් ස්වාධීනව අය කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීමටත් අවස්ථාව සැලසෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව ප්‍රකාශ කළේය.

මේ අතර, විනෝද බදු ලෙස පළාත් පාලන ආයතන වෙත වෙන් කෙරෙන ප්‍රවේශපත්‍ර ආදායම් කොටස තවදුරටත් වැට් බද්දෙන් නිදහස්ව පවතිනු ඇත.

දැනට පවතින සිනමා ප්‍රවේශපත්‍ර ආදායම් බෙදාගැනීමේ ව්‍යුහය යටතේ, විනෝද බද්ද හැරුණු විට වායුසමීකරණය කළ සිනමා ශාලාවල ප්‍රවේශපත්‍ර ආදායමෙන් සියයට 40ක් සහ වායුසමීකරණය නොකළ සිනමා ශාලාවල ප්‍රවේශපත්‍ර ආදායමෙන් සියයට 45ක් චිත්‍රපට නිෂ්පාදකයින්ට හිමි වේ.

එමෙන්ම, සිනමා ශාලා වෙත පිළිවෙළින් සියයට 50ක් සහ සියයට 45ක් බැගින් ආදායම් කොටස් හිමිවන අතර, දෙවර්ගයේම සිනමා ශාලාවලින් චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල වෙත හිමිවන ප්‍රතිශතය සියයට 10කි.

මීට අමතරව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමා ශාලා අතර බෙදී යන සංස්ථා බද්ද වායුසමීකරණය කළ සිනමා ශාලාවල එක් ප්‍රවේශපත්‍රයක් සඳහා රුපියල් 6.50ක් වන අතර, වායුසමීකරණය නොකළ සිනමා ශාලාවල එක් ප්‍රවේශපත්‍රයක් සඳහා රුපියල් 6ක් වේ.