November 18, 2026

අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී ඉකුත් 10 දා සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් බරපතළ තුවාල ලබා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හතරක දැරියක පෙරේදා (15 දා) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව බව මිහින්තලය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ පදවිය, විදුලිබල මණ්ඩල පාරේ පදිංචි සිටි හෙට්ටිආරච්චිලාගේ විනුති රුහංසා හෙට්ටිආරච්චි නම් සිව් හැවිරිදි දැරියකි.

මෙම මාරක රිය අනතුර සිදුවූ දිනයේදීම එම දියණියගේ මව වන හෙට්ටිආරච්චිලාගේ හසන්ති සෙව්වන්දි ද ජීවිතක්ෂයට පත්වූ අතර, සිය මැණියන්ගේ සත්දින පිංකම පැවැත්වුණු දා , පෙරේදා (15දා) රාත්‍රී 8.20 ට අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙසේ දැරිය ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුරින් ඔවුන් ගමන් කළ බස් රථයේ රියැදුරා වන කැකිරාවගොල්ලෑව ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි සිටි ලංකා ජයනාත් නම් අයද ජීවිතක්ෂයට පත්විය.

අනතුර සිදුවන අවස්ථාවේදී එම රියැදුරු මත්පැන් සහ ගංජා භාවිත කර සිටි බවට අදාළ වෛද්‍ය වාර්තා ලැබී ඇති බව පොලිසිය මීට පෙර සඳහන් කළේය.

ඒ අනුව මෙම දැරිය ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බස් රථ තුනක් එකිනෙක ගැටී රඹෑවදී සිදුවූ මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

(උපුටාගැනීම – දිවයින පුවත්පත)