November 19, 2026

වන අලින් විසින් දින දෙකක් පොල් ගස් දෙකක් උදුරා නිවස මතට පෙරළා දැමීම හේතුවෙන් නිවසකට දැඩි අලාභහානි සිදුවීමේ පුවතක් මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මහඉලුප්පල්ලම, කැලේදිවුල්වැව, කුඹුකඳ විහාරස්ථානය ඉදිරිපිට පිහිටි නිවසකට මෙලෙස වනඅලි කඩාවැදීම හමුවේ අලාභ හානි සිදුව ඇති අතර ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ වන අලි කඩාවැදී මෙලෙස පොල් ගස් උදුරා දමා ඇතැයි වාර්තා වේ.

ගොවිතැනින් සහ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යන මවක සහ පුතකු පදිංචිව සිටින එම නිවස සාලයකින්, මුළුතැන්ගෙයකින් සහ නිදන කාමරයකින් සමන්විත කපරාරු නොකළ, තහඩු සෙවිලි කළ නිවෙසකි.

නොවැම්බර් 16 වැනි දින අලුයම් කාලයේදී වන අලි රංචුවක් ගෙවත්තට ඇතුළු වී පොල් ගසක් උදුරා දමා ඇති අතර, එය නිවස මතට කඩා වැටීමෙන් මුළුතැන්ගෙයි වහලයට සහ බිත්තියට හානි සිදුව තිබේ. අනතුරුව ඊයේ අලුයම් කාලයේදී යළිත් පැමිණි වන අලි තිදෙනකු ඉඩමේ මායිමේ තිබූ තවත් පොල් ගසක් උදුරා දමා ඇති අතර, එය නිදන කාමරය මතට කඩා වැටීමෙන් වහලයේ ඉතිරි කොටසට සහ බිත්තිවලට ද දැඩි හානි සිදුව ඇත.

කෙසේ වෙතත්, වන අලින් නිවස දෙසට පැමිණෙනු දුටු නිවැසියන් නිවසින් පිටතට දිව ගොස් දිවි බේරා ගැනීම නිසා ඔවුනට තුවාල සිදුව නොමැත.