November 18, 2026

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා ලෙස ගෙවිය යුතු රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහස් හයසියයක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සංස්ථාවේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඊයේ (17) නියෝග කළේය.

2015 සිට 2019 වසර දක්වා කාලය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහස් හයසියයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පැය හතක පමණ දීර්ඝ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සැකකරු පෙරේදා (16) අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියහ.

“ස්වාමීනි, මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විරෝධී පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව එවකට මානව සම්පත් කළමනාකරු ලෙස කටයුතු කළ අසංක පෙරේරා යන අය දූෂණය නමැති වරද සිදුකර තිබෙනවා. ඔහු මේ වන විට මියගොස් සිටිනවා.

“ආනන්ද පාලිතට දූෂණය නමැති වරද සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර නැහැ. ඔහුට එරෙහිව තිබෙන්නේ පොදු දේපළ පනත යටතේ පොදු දේපළ අවභාවිත කිරීම සම්බන්ධ චෝදනාවයි.

“2015 ජනවාරි පළමුවැනිදා සිට 2018 වසර දක්වා කාලය තුළ ඔහු අතිකාල සහ අත්තිකාරම් දීමනා ලෙස රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහස් හයසියයක මුදලක් ලබාගෙන තිබෙනවා. සැකකරු සංස්ථාවේ පොම්පකරුවකු ලෙස සේවය කර තිබෙනවා. ඔහුගේ සාමාන්‍ය රාජකාරි වේලාව උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වායි.

“අතිකාල දීමනා ලබා ගැනීමට නම් පස්වරු 4.30න් පසුව පර්යන්ත පරිශ්‍රයේ රාජකාරිවල නිරත විය යුතුයි. නමුත් මානව සම්පත් අධ්‍යක්ෂවරයා ලබාදුන් ප්‍රකාශ අනුව සැකකරු අදාළ කාලසීමාවේ පර්යන්තයේ කිසිදු රාජකාරියක නිරත වී නැහැ.

“එසේම, CPSTL ආයතනයේ අභ්‍යන්තර විගණන වාර්තාවෙන් ද මෙම මුදල් සම්බන්ධ නොගැළපීම් අනාවරණය කර තිබෙනවා.

“සැකකරුගේ පැමිණීමේ ලේඛන සහ ගේට්ටු මුරපත්‍ර අතර ද නොගැළපීම් තිබෙනවා. පැමිණීමේ ලේඛනයේ එක් වේලාවක් සටහන් කර තිබුණත් ගේට්ටු මුරපත්‍ර අනුව වාහනය පර්යන්තයට ඇතුළු වී තිබෙන්නේ ඊට පැයකට පමණ පසුවයි.

“රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ සහතිකයක් ද ඉදිරිපත් කර තිබෙනවා. මෙම ගෙවීම් අනුමත කළ අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරනවා.” අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියහ.

“ස්වාමීනි, පොදු දේපළ පනත යටතේ මෙම සැකකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් CPSTL ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගමක්. එහි දේපළ පොදු දේපළ පනතේ අර්ථනිරූපණයට අදාළ වන්නේ නැහැ.

“මෙවැනි කරුණු සොයා බැලිය යුතුව තිබුණේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරයි.

“පැමිණිල්ල විසින්ම අධිකරණයට ඉදිරිපත් කළ ලිපියක සඳහන් වෙනවා පැමිණීම සහ පිටවීම වාර්තා කිරීමෙන් පසුව වැටුප් සහ දීමනා ගෙවන ලෙස. එහි දීමනා ලෙස සඳහන් කර තිබෙනවා. ඒවා අතිකාල දීමනා විය හැකියි. වෙනත් දීමනා විය හැකියි. “මෙම මුදල් සැකකරුගේ බැංකු ගිණුමට බැර කර තිබෙනවා. තමන්ගේ ගිණුමට මුදල් බැර වූ විට එය ප්‍රතික්ෂේප කරන්නේ කවුද? අදාළ ගෙවීම් සිදු කර තිබෙන්නේ පාලනාධිකාරිය සහ මානව සම්පත් අංශය විසින් අනුමත කළ ලේඛන අනුවයි.

“අපගේ සේවාදායකයා වසර 35ක පමණ සේවා කාලයක් ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙක්. ඔහු වෘත්තීය සමිති කටයුතු සඳහා අර්ධ වශයෙන් නිදහස් කර සිටි අයෙක්. වෘත්තීය සමිති සාකච්ඡා බොහෝවිට රාජකාරි වේලාවෙන් පසුව පැවැත්වෙනවා. ඒ සඳහා ඔහු පස්වරු 4.45න් පසුවත් කටයුතු කර තිබෙනවා.

“අතිකාල දීමනා ගෙවන ලෙස ඉල්ලා ඔහු කිසිදු පෞද්ගලික ඉල්ලීමක් හෝ අයදුම්පතක් ඉදිරිපත් කර නැහැ. ආයතනයේ පාලනාධිකාරිය සහ මානව සම්පත් අංශය විසින් ගනු ලැබූ තීරණ මතයි මෙම මුදල් බැර කර තිබෙන්නේ.

“එසේම, අසංක පෙරේරාට එරෙහිව ආරම්භ කළ විමර්ශනයක් තමයි මේ. ඔහු මියගිය පසුව මෙම වගකීම ආනන්ද පාලිත වෙත පැවරීමට උත්සාහ කරනවා.

“2018 වසරෙන් පසුව වසර අටකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මෙම මුදල් වැරදි ලෙස ලබාගෙන තිබුණා නම් ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණ සිදු කර නීත්‍යනුකූලව කටයුතු කිරීමට ඕනෑ තරම් කාලය තිබුණා. අපගේ සේවාදායකයා වෘත්තීය සමිති නායකයකු ලෙස ආයතනයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් හඬ නැඟූ අයෙක්. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් වෘත්තීය සමිති කටයුතු අඩපණ කිරීමේ උත්සාහයක් තිබෙන බවට අපට සැකයක් මතු වෙනවා.

එබැවින් මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා නීතිමය වශයෙන් ගැටලු සහගත බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත නොකරන ලෙස ඉල්ලා සිටිනවා.”

අනතුරුව නැවතත් විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසූහ.

“ස්වාමීනි, මෙම ආයතනයේ 60%ක අයිතිය රජය සතුයි. එය විගණනයට ද ලක් වෙනවා. සැකකරු පර්යන්තයේ රාජකාරි කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔහුට අතිකාල දීමනා ලබාගැනීමට හිමිකමක් නොමැති බව අප පවසන්නේ ඒ නිසයි. තමන්ට හිමි නොවන මුදලක් ගිණුමට බැර වූ විට එය ප්‍රතික්ෂේප කිරීමට හෝ ආපසු ලබාදීමට ඔහුට හැකියාව තිබුණා. නමුත් එසේ සිදු කර නැහැ.

එම නිසා මෙම මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුගේ වගකීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කළ යුතුයි.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා සැකකාර ආනන්ද පාලිත ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

(උපුටාගැනීම – දිනමිණ පුවත්පත)