November 18, 2026

LAUGFS Gas සමාගමේ නිලධාරීන් අද පාර්ලිමේන්තුව හමුවට කැඳවා තිබේ. ඊයේ දිනයේදී සිදුකළ නිල දැනුම්දීමකට අනුව, එම සමාගමේ ප්‍රධානීන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ හමුවී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන තිබිණි.

පසුගියදා සිදුකළ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පෙරේදා දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ද ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කැඳවා තිබූ බව වාර්තා විය.

පාරිභෝගිකයන් ගෑස් සිලින්ඩර සඳහා තැන්පත් කර ඇති මුදල්වලට සාධාරණ වටිනාකමක් ලබාදීම, දිවයින පුරා අඛණ්ඩ හා විධිමත් ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සහ අධිකාරියේ නිසි අනුමැතියකින් තොරව මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී දැඩි අවධානය යොමු වී ඇත.

පසුගිය 11 වැනිදා කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් සහ කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 6,740 ක් සහ කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 2,720 ක් ලෙස මිල නියම විය.

මෙම තීරණයත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම සමාගමට එරෙහිව පියවර කිහිපයක් ගැනීමට කටයුතු කළ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745 කින් අඩු කිරීමට ලාෆ් සමාගම පියවර ගෙන තිබේ.

(උපුටාගැනීම – රතු ඉර පුවත්පත)