November 17, 2026

වත්මන් රජය ඉකුත් දා ඉදිරිපත් කළ 2027 වර්ෂය සඳහා වූ අයවැය තුළ ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයට අනුව යම් පරිවර්තනයක් දක්නට ලැබුණ ද, රට තුළ සැබෑ පරිවර්තනයක් ඇති කිරීමට තරම් විශේෂිත යමක් එහි අන්තර්ගත වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.

මෙවර අයවැය හරහා සිදු කර ඇත්තේ දැනටමත් ආරම්භ කර ඇති වැඩපිළිවෙළක් ඉදිරියට පවත්වාගෙන යාම පමණක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, හුදු වචනවලින් පමණක් අයවැයක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට ප්‍රායෝගිකව දැනිය යුතු බවත් අවධාරණය කළේය.

එමෙන්ම, රජයේ ඉලක්කය වන සියයට 7ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයක ආයෝජනයක් තිබිය යුතු බව පෙන්වා දුන් ඔහු, එවැනි ආයෝජන පසුබිමක් මෙවර අයවැය තුළින් දක්නට නොලැබෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.