November 17, 2026

2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත්කර ඇති බව ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම නිවේදනය කර තිබේ.

2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ලෙස සේවය කළ ඩෝරිස්, අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රික කටයුතු, වාණිජ සබඳතා සහ උපායමාර්ගික උපදේශන ක්ෂේත්‍රයන්හි දශක තුනකට අධික අත්දැකීම් සම්භාරයක් සතු අයෙකි.

පේරු සහ පැනමා රාජ්‍යයන්හි බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කිරීම මෙන්ම එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තනතුරු දැරීම ද ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික වෘත්තීය ජීවිතයට ඇතුළත් වේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියකු වන ඩෝරිස්, රාජ්‍යතාන්ත්‍රික සේවයට එක්වීමට පෙර ලන්ඩන් නුවර ආයතනික සහ වාණිජ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

සමාගම පවසන පරිදි, මෙම පත්වීම සිය දීර්ඝකාලීන බ්‍රිතාන්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් සිය ව්‍යාපාර පුළුල් කිරීමේ නව ඉලක්කය සමඟ මනාව ගැළපේ.

1988 වසර දක්වා වසර 150කට අධික කාලයක් සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂවරුන් සේවය කර ඇති බව ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම සඳහන් කළේය.

මෙම නව පත්වීමත් සමඟ ඩෝරිස් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ පස්වැනි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයා බවට පත්වන අතර, එමඟින් ස්වාධීන අධීක්ෂණය සහ ආයතනික යහපාලනය තවදුරටත් ශක්තිමත් වේ.

මෙම පත්වීම පිළිගනිමින් සමූහ සභාපති සර්ව අමරසේකර පවසන්නේ, සමාගම මෙරටින් ඔබ්බට නව අවස්ථා ගවේෂණය කරන මොහොතක ඩෝරිස්ගේ අන්තර්ජාතික අත්දැකීම් සහ ශ්‍රී ලංකාව පිළිබඳ ඔහු සතු අවබෝධය ඉතා වටිනා බවයි.

“ජේම්ස් අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට පිළිගැනීමට ලැබීම ගැන අපි ගෞරවයට පත් වෙනවා. අපගේ වෙරළ තීරයෙන් ඔබ්බට නව අවස්ථා ගවේෂණය කිරීමට උත්සාහ කරන මේ අවස්ථාවේ ඔහුගේ පුළුල් අන්තර්ජාතික අත්දැකීම් සහ ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධය ඉතා වටිනා බව අපි විශ්වාස කරනවා,” යැයි ඔහු සඳහන් කරයි.

සිය නව භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් ඩෝරිස් පවසන්නේ, සමූහ ව්‍යාපාරය දේශීය හා අන්තර්ජාතික වශයෙන් සිය ව්‍යාපාර පුළුල් කිරීමට අපේක්ෂා කරන අවස්ථාවක සමාගමට එක්වීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවයි.

1835 වසරේදී ආරම්භ කරන ලද ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළෙඳ ආයතනය වන අතර තේ අපනයනය, සෞඛ්‍ය සේවා, සංචාරක සහ විවේක කර්මාන්තය, මූල්‍ය සේවා, පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික විසඳුම් යන ක්ෂේත්‍රයන්හි විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසකට හිමිකම් කියයි.